සර්පයින් පිළිබඳව ලොව ප්‍රථම වරට පැවැත්වෙන “1st World Congress on Snakes – 2026” ජාත්‍යන්තර සර්ප සම්මේලනය පසුගිය දා (01) මහනුවරදී ආරම්භ වූ අතර අද (04) එහි අවසන් දිනයයි.
එහි සමාරම්භක උත්සවය පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් Royal Peacock Ballroom, 1st Floor, The Grand Kandyan Hotel හිදී පැවැත්වුණේය.
“Snakes, Science, Species Survival & Sri Lanka” (සර්පයින්, විද්‍යාව, විශේෂවල පැවැත්ම සහ ශ්‍රී ලංකාව) යන තේමාව යටතේ මෙම සම්මේලනය පැවැත්වේ.
මෙම ජාත්‍යන්තර සම්මේලනය සඳහා ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව ,පෝලන්තය, මලයාසියාව, ඉන්දියාව, ජර්මනිය, පාකිස්තානය යන රාජ්‍යයන් 42ක් නියෝජනය කරමින් දෙස් විදෙස් විද්වතුන්, පර්යේෂකයන්, පරිසරවේදීන් සහ ක්ෂේත්රයේ ප්‍රවීණයන් 400කට අධික පිරිසක් සහභාගී වූහ.
සර්පයින් පිලිබදව ලොව ප්‍රථම වරට පැවැත්වෙන “1st World Congress on Snakes – 2026” ජාත්‍යන්තර සර්ප සම්මේලන පදනමේ ප්‍රධාන හවුල්කරුවන් ලෙස ශ්‍රී ලංකාව, අමරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රාජ්‍යයන් ක්‍රියා කරන අතර ඒ තුළ කමිටු වශයෙන් අනෙකුත් රටවල සාමාජිකයින්ද ක්‍රියාකාරිව කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සර්ප විවිධත්වය, සංරක්ෂණය සහ විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට නියමිත අතර එම දත්ත මත පදනම්ව ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදවද මෙහිදී සාකච්ජා කිරීමට නියමිතය.
විශේෂයෙන් ඉන්දියන් සාගරයේ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, සර්ප පර්යේෂණ සහ සංරක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම විශේෂඥයින් හමුවන ස්ථානයක් ලෙස මෙම සමුළුව හදුනාගෙන ඇති අතර දිගු කලක් තිස්සේ නොසලකා හැර ඇති ගැටලුවක් හඳුනා ගැනීම සහ සර්ප සංරක්ෂණය යන කරුණු දෙක කෙරෙහි වඩා ශක්තිමත් ජාත්‍යන්තර කැපවීමක් ගොඩනැගීමට ගෝලීය ප්‍රජාවට මෙය මහගු අවස්ථාවක් වනු ඇත.
ලෝකයේ වැදගත් ජෛව විවිධත්ව උණුසුම් කලාප වලින් එකක් ලෙස ශ්‍රී ලංකාව සැලකෙන අතර එහි කැපී පෙනෙන පරිණාමීය ඉතිහාසය, ඉන්දියානු ප්‍රධාන භූමිය සමඟ ඓතිහාසික සම්බන්ධතා ආදිය හේතුවෙන් පෘථිවියේ වෙනත් කිසිදු තැනක දක්නට නොලැබෙන බොහෝ සර්පයන් ඇතුළු විශේෂවල අසාමාන්‍ය විවිධත්වයට දායක වී තිබේ.
ලොව පුරා සර්ප විශේෂ 411ක් වාර්තා වන අතර ඉන් ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 112ක් දැකගත හැකිය. ඉන් විශේෂ 63ක් එනම් සියයට 56.3ක් අපේ දිවයිනට ආවේණික වේ. ඒ අනුව එම තත්වය නොනැසී අනාගතය කරා ගෙන යාම සහතික කිරීමට ශ්‍රී ලංකාවට විශාල වගකීමක් පැවරෙන අතර මෙම සමුළුවද ඊට පිටුවහලක් වනු ඇති.
ශ්‍රී ලංකාවේ සර්ප විශේෂවලින් සැලකිය යුතු ප්‍රමාණයක් වාසස්ථාන අහිමි වීම, ඛණ්ඩනය වීම, කෘෂිකාර්මික ව්‍යාප්තිය, නාගරීකරණය සහ දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙනුයි තර්ජනයට ලක්ව ඇත.
මෑත කාලීන ආන්තික කාලගුණික වෙනස්කම් මගින් සිදු වී ඇති පාරිසරික බාධාවන් වනජීවීන් සහ මිනිස් ප්‍රජාවන් අතර හමුවීම් වැඩි කළ හැකි ආකාරය පෙන්නුම් කර ඇති අතර එය ද සර්ප විශේෂ තර්ජනයට ලක්වීමට හේතු වී තිබේ.
ලොව පුරා සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් සෑම වසරකම පුද්ගලයින් 138,000ක් පමණ මිය යන අතර, තවත් බොහෝ දෙනෙක් අත් පා අහිමි වීම, විරූපී වීම, වකුගඩු අකර්මණ්‍ය වීම සහ දරුණු මානසික කම්පනය ඇතුළු ස්ථිර ආබාධවලට ගොදුරු වේ.
ශ්‍රී ලංකාවේ සෑම වසරකම සර්ප දෂ්ට කිරීම් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර, සැලකිය යුතු සංඛ්‍යාවක් විෂ වීමට හේතු වන අතර සිය ගණනකගේ මරණයටයි හේතු වන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සර්ප විශේෂවලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මිනිසුන්ට බරපතල වෛද්‍ය තර්ජනයක් එල්ල කරන අතර අතිමහත් බහුතරයක් හානිකර නොවන බවද පර්යේෂණ වලින් සොයාගෙන තිබේ..
2026-2030 සඳහා වන ජාතික ජෛව විවිධත්ව උපායමාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම හරහා අපගේ ජාතික ජෛව විවිධත්ව ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම සඳහා ද වර්තමාන රජය යටතේ පරිසර අමාත්‍යංශය සමග අනුබද්ධ ආයතන කටයුතු කරමින් සිටින අතර, එම කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීම සදහා ද මෙම සමුළුව ඉවහල් වනු ඇති බවයි පරිසර අමාත්‍යතුමන් සමුළුව අමතමින් පැවසුවේය.
මෙම සම්මේලනය ශාස්ත්‍රීය සාකච්ඡාවකින් පමණක් අවසන් විය නොහැකි අතර එය ක්‍රියාවට නැංවිය හැකි දැනුම නිපදවිය යුතු බවත් අවසාන වශයෙන්, එය මිනිස් සහ වනජීවී ජීවිත දෙකම බේරා ගැනීමට උපකාරී විය යුතු බවත් පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.
පළමු ලෝක සර්ප සමුළුවේදී සර්පයන් පිළිබඳ නව පොත් අටක් එළිදැක්වීමට නියමිත අතර සාක්ෂරතා මාසයට සමගාමීව, මෙම ආකර්ෂණීය නව මාතෘකා සර්පයන් පිළිබඳ නවතම කෘති සොයා ගැනීමට, ඉගෙන ගැනීමට, ගවේෂණය කිරීමට සහ මිලදී ගැනීමට පවා අපූරු අවස්ථාවක් හිමි වනු ඇත.
පළමු ලෝක සර්ප සමුළුව වෙනුවෙන් සැමරුම් මුද්දරයක් නිකුත් කිරීමටද තැපැල් දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.












