පාකිස්තානය පරදා පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට

පාකිස්තානු නායිකා ෆාතිමා සනාගේ අතිවිශිෂ්ට තුන් ඉරියව් දස්කම් හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දුන්නද, අවසන් මොහොත දක්වා සටන් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊ (11 දා) රාත්‍රියේදී සමත්විය. ඒ අනුව ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල ඉන්දියානු කණ්ඩායම මුණගැසීමට නියමිතය.

ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමටද ආරම්භය එතරම් සුබ නොවීය. පාකිස්තාන පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු දෙක ලකුණු 5ක් තුළ බිඳවැටුණු අතර, ලකුණු 33 වන විට කඩුලු 4ක් අහිමිවීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවකට පත්විය.

එහෙත් එතැන් සිට හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරි එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූහ. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59කදී ලකුණු 67ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනඟමින් තරගයේ පීඩනය පාකිස්තානය දෙසට හරවා යැවූහ.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 31කදී ලකුණු 36ක් ලබාගත් අතර, කවිෂා දිල්හාරි පන්දු 33කදී ලකුණු 33ක් රැස් කළාය. ඔවුන් දෙදෙනා පිටියේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය ලකුණු වේගය පාලනය කර ගැනීමට හැකි විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ආසන්න වෙමින් සිටියදී යළිත් ක්‍රියාත්මක වූ සනා, සමරවික්‍රම සහ දිල්හාරි දෙදෙනාම දවාගනිමින් තරගය උණුසුම් කළාය.

එහෙත් සනා විසින් යැවූ ඉණට ඉහළින් ගිය නිපන්දුවක් ශ්‍රී ලංකාවට අමතර වාසියක් ලබාදුන්නේය. එම අවස්ථාවේදී කෞෂිනි නුත්‍යංගනා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු හයේ පහර එල්ල කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තවත් ආසන්න කළාය.

අනතුරුව නිලක්ෂිකා සිල්වා සහ කෞෂිනි නුත්‍යංගනා එක්ව ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. තරගයේ තීරණාත්මක මොහොතේ ෆාතිමා සනාගේ පන්දුවකට නිලක්ෂිකා සිල්වා එල්ල කළ අලංකාර හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනිටුහන් විය. ඒ අනුව පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානයට අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට මෙහෙයුම හමුවේ පාකිස්තාන පිතිකාරිනියන්ට මුල් අවස්ථාවේදී කිසිදු නිදහසක් ලබා නොදුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ කඩුලු 4ක් ලකුණු 52ක් තුළ බිඳවැටුණි.

චමරි අතපත්තු මුල් පන්දුවාර දෙක තුළ ශවාල් සල්ෆිකාර් සහ අයේෂා සෆාර් දවාගත් අතර, සුගන්ධිකා කුමාරි මුනීබා අලීගේ කඩුල්ල බිඳ දැමුවාය. අනතුරුව 17 හැවිරිදි වමත් දඟ පන්දු යවන චමුදි ප්‍රබෝධා, ඉදිරියට පැමිණ පහරදීමට උත්සාහ කළ සාදෆ් ෂමාස් ස්ටම්ප් කිරීමට හසුකර ගැනීමත් සමඟ පාකිස්තානය තවත් අසීරු තත්ත්වයකට පත්විය. එම අවස්ථාවේදී පාකිස්තානයට ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යාම පවා අසීරු වනු ඇතැයි පෙනෙන්නට තිබුණද, ෆාතිමා සනා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සැලසුම් සියල්ල උඩු යටිකුරු කළාය.

පාකිස්තාන නායිකා සනා සිය පළමු පන්දු හයම ලකුණු නොලබා ඉවසා සිටීමෙන් අනතුරුව හත්වැනි පන්දුවේ සිට සිය ප්‍රහාරය ආරම්භ කළාය. චමුදි ප්‍රබෝධාට එරෙහිව හතරේ පහරකින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ඇය, අනතුරුව කවිෂා දිල්හාරිට එරෙහිව හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් පාකිස්තාන ඉනිමට නව ජීවයක් එක් කළාය.

ගුල් ෆෙරෝසා පන්දු 32කින් ලකුණු 21ක් ලබා දැවී ගියද, සනා තනිවම පාකිස්තාන ඉනිම ගොඩනැගීමට සමත් වූවාය. අවසන් පන්දුවාරවලදී අවශ්‍ය වේගයෙන් ලකුණු රැස් කළ ඇය, පන්දු 36කින් ලකුණු 47ක් නොදැවී ලබාගත්තේ හතරේ පහර 4 කින් සහ දැවැන්ත හයේ පහරක්ද සමඟිනි. ටූබා හසන් ලකුණු 12කින් දායක වූ අතර, අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 78ක් රැස්කරගත් පාකිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 130ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු කඩුලු 2ක් දවාගත් අතර, සුගන්ධිකා කුමාරි සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් බිඳ දැමූහ.

තරගය පුරාම පාකිස්තානය වෙනුවෙන් තනිව සටන් කළ සනාගේ දස්කම් කොතරම් විශිෂ්ටද යත්, පරාජිත කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ලෙස ඇයට තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවගේ සම්මානයද හිමිවිය. ඇය පන්දු 36කින් ලකුණු 47ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ලකුණු 38කට කඩුලු 4ක් දවාගත්තාය.

පාකිස්තානය පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 130 යි – (ශවාල් සුල්ෆිකර් 24, ගුල් ෆෙරෝසා 21, ෆාතිමා සනා 47*, ටුබා හසන් 12, චමරි අතපත්තු 24/2, චමුදි ප්‍ර බෝධා 25/2, සුගන්ධිකා කුමාරි 20/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 134 යි – (ඉමේසා දුලානි 24, චමරි අතපත්තු 05, සංජනා කාවින්දි 00, හසිනි පෙරේරා 03, හර්ෂිතා සමරවික්‍රම 36, කවීෂා දිල්හාරි 33, නිලක්ෂිකා සිල්වා 18*, කෞෂානි නුත්‍යාංගනා 10*, ෆාතිමා සනා 38/4, සාදියා ඉක්බාල් 21/1, උම් ඊ හනි 19/1)

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website