ශූරියන්ගේ කුසලාන සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණයක් තවමත් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2027 වසරේ පළමු වරට පැවැත්වීමට නියමිත කාන්තා ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අවසන් තීරණයක් දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (31) පැවැති මාසික මාධ්‍ය හමුවේදී පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා සහ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

මාධ්‍ය හමුව ආරම්භයේදීම අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවට කාන්තා ශූරයින්ගේ කුසලාන (Champions Trophy) සත්කාරකත්වය අහිමි වීමේ තත්ත්වය වත්මන් පරිවර්තන කමිටුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූවක් නොවන බවයි.

“ශූරියන්ගේ ක්‍රිකට් තරගාවලිය අහිමි වුණේ අද ඉන්න පරිවර්තන කමිටුවේ අය නිසා නෙමෙයි. මේකට වග කියන්න ඕන කවුරුන්ද කියලා මම කියන්න අවශ්‍ය නැහැ,” යැයි වික්‍රමරත්න මහතා පැවසීය.

ඉදිරියේදී මෙවැනි තවත් අභියෝග මතුවිය හැකි නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් පසුබැසීමට සූදානම් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

“මේ වගේ තවත් දේවල් වෙන්න පුළුවන්. හැබැයි අපි නම් පස්සට අඩියක් තියන්නේම නෑ,” යැයි ඔහු සඳහන් කළේය.

ICC සමඟ අඛණ්ඩ සාකච්ඡා

කාන්තා ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පළමුව 2027 කාන්තා කාන්තා ශූරයින්ගේ කුසලා තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය බව දැනුම් දී තිබූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබූ බවයි.

කෙසේ වෙතත්, මීට මාස දෙකහමාරකට පමණ පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ තරගාවලිය සඳහා විකල්ප සත්කාරක ස්ථාන සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

එය තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමේ හැකියාවක් පෙන්නුම් කරන කරුණක් වුවද, මේ වනවිටත් තරගාවලිය නිල වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවසන් දැනුම්දීමක් සිදුකර නොමැති බව ෂාෆ්ටර් මහතා පැහැදිලි කළේය.

“අපි ICC එකත් එක්ක මේ ගැන කතා කරලා තියෙනවා. ඉදිරියේදීත් කතා කරනවා. ශූරයින්ගේ කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ තියන්න අපට පුළුවන් නම්, ස්ථිර වශයෙන්ම එයින් අපට මහත් අභිමානයක් වගේම ගෞරවයකුත් ලැබෙනවා. ඒ වගේම සංචාරකයන්ගෙනුත් විශාල ආදායමක් එනවා,” යැයි ඔහු පැවසීය.

තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විකල්ප සත්කාරක ස්ථාන සලකා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට්හි වත්මන් පාලන හා පරිපාලන තත්ත්වයද බලපෑමක් විය හැකි බව තමන් විශ්වාස කරන බව ෂාෆ්ටර් මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, එය ICC විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති හේතුවක් නොවන බවද ඔහු පැහැදිලි කළේය.

පරිවර්තන කමිටුව වගකීම භාරගත් දින සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  සමඟ සමීප සම්බන්ධතාවකින් කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළිත් සාමාන්‍ය පරිපාලන ව්‍යුහයකට ගෙන ඒම සඳහා සිදුකරන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර ඇති බවත් ෂාෆ්ටර් මහතා පැවසීය.

ඉදිරි මාසයක හෝ දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැහැදිලිව පෙන්වා දීමට හැකි වුවහොත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාවක් තවදුරටත් පවතිනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.

වෙනත් සත්කාරක ස්ථානයක් සම්බන්ධයෙන්ද මේ වනවිට අවසන් එකඟතාවක් ඇති කරගෙන නොමැති බව තමන් දන්නා තොරතුරු අනුව පැවසිය හැකි බවද ෂාෆ්ටර් මහතා සඳහන් කළේය.

මේ අතර කාන්තා ශූරයින්ගේ කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට ගෙන යනු ලැබුවහොත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරගාවලියට සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් බලපෑමක් ඇති විය හැකිදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී, එවැනි බලපෑමක් ඇතිවිය හැකි බව ෂාෆ්ටර් මහතා පැවසීය. කෙසේ වෙතත්, එහි නිශ්චිත බලපෑම සහ අදාළ සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ සම්පූර්ණ පැහැදිලිත්වයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෑත කාලයේ දැක්වූ දක්ෂතා අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් අදාළ තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පරිවර්තන කමිටුවට අයත් වැඩ කොටස අවසන් කර ඇති බව එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

යෝජිත නව ව්‍යවස්ථාව මේ වනවිට රජයේ නීති කෙටුම්පත් අංශය වෙත යොමුකර ඇති අතර, එම අංශයේ සමාලෝචනයෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

කැබිනට් අනුමැතියෙන් පසුව ගැසට් කිරීම, ඉන් අනතුරුව පාර්ලිමේන්තු ක්‍රියාවලිය සහ අධිකරණ සමාලෝචනය ඇතුළු නීතිමය ක්‍රියාවලියක් ඔස්සේ නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සිදුවන බැවින්, එම සමස්ත ක්‍රියාවලිය සඳහා ගතවන කාලය පරිවර්තන කමිටුවට පාලනය කළ නොහැකි බවද වික්‍රමරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයෙන් පත්වන පාලන ව්‍යුහයක් යටතේ පවත්වාගෙන යාමට තමන් එකඟ වන නමුත්, එම නිලවරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් හා නිවැරදි ක්‍රමවේදයකින් සිදුවීම තහවුරු කිරීම අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

ICC සමඟ සම්බන්ධතාවය වැදගත් – සංගක්කාර

පරිවර්තන කමිටුවට පත්වීමෙන් පසුව පළමු වතාවට මාධ්‍ය හමුවකට එක්වූ කුමාර් සංගක්කාර මහතාද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ එක්ව කටයුතු කිරීම සඳහා පරිවර්තන කමිටුව නිරන්තරයෙන් උත්සාහ කරන බවත්, පරිවර්තන ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් විශාල සහයෝගයක් ලැබෙන බවත් සංගක්කාර මහතා පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හි ව්‍යවස්ථාමය අවශ්‍යතා අනුව නිලවරණයකින් පත්වන ක්‍රිකට් පාලන ව්‍යුහයක් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළි ගෙන යාම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

“අපි උත්සාහ කරන්නේ නව ව්‍යවස්ථාව මගින් ඒ අවස්ථාව පාදලා දෙන්න,” යැයි සංගක්කාර මහතා පැවසීය.

සියලු පාර්ශ්වයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා එකම දැක්මකින් කටයුතු කළ හැකි සහ ඒ සඳහා වගකියන පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීම පරිවර්තන කමිටුවේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සම්බන්ධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාර මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හි කොටස්කරුවෙකු බැවින් දෙපාර්ශ්වයම එකට එක්ව කටයුතු කිරීම වැදගත් බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි අපේක්ෂාව ශක්තිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මෙන්ම ශක්තිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයක් දැකීම බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි වත්මන් පරිවර්තන ක්‍රියාවලිය නිවසක් ඉදිකිරීමකට සමාන කරමින් එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ ඉදිරි සංවර්ධනය සඳහා පළමුව අත්තිවාරම ශක්තිමත් කළ යුතු බවයි.

දැනටමත් ගොඩනැගිල්ලක තට්ටුවක් ඉදිකර තිබුණද අත්තිවාරම නිවැරදිව සකස් කර නොමැති නම් ඉදිරියට තට්ටු එකතු කිරීමට පෙර අත්තිවාරම නිවැරදි කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන ක්‍රියාවලියේදීද මූලික පාලන හා පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීම ප්‍රමුඛ කාර්යයක් බව ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සතුවද තමන්ගේම ව්‍යවස්ථාමය හා පාලන අවශ්‍යතා පවතින බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීම අවශ්‍ය බව වික්‍රමරත්න මහතා පිළිගත්තේය.

“ඕනම අවස්ථාවක මේ ගැන ICC එකට කරුණු පැහැදිලි කරන්න අපි ලැහැස්තියි. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකටත් ව්‍යවස්ථාවක් තියෙනවා කියලා අපි පිළිගන්නවා. ඒ ව්‍යවස්ථාවේ තියෙන කරුණුත් සම්පූර්ණ කරන්න ඕනේ,” යැයි ඔහු පැවසීය.

මේ අතර, 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් ඇති වූ පසුබිම තුළ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත්කිරීමෙන් අනතුරුව, 2023 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවට ගෙන යාමට සිදුවූ බවද මාධ්‍ය හමුවේදී සිහිපත් කෙරිණි.

එම පසුබිම තුළ වත්මන් පරිවර්තන කමිටුවේ ප්‍රධාන අරමුණක් වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථාවර, විනිවිදභාවයෙන් යුතු සහ නිලවරණයකින් පත්වන පාලන ව්‍යුහයක් වෙත ගෙන ඒම බව කමිටු සාමාජිකයෝ අවධාරණය කළහ.

ඒ අනුව, 2027 කාන්තා ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය තවමත් ඉදිරියේ පවතින අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් පවතින තත්ත්වය පැහැදිලි කිරීමට සහ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට කටයුතු කරමින් සිටී.

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website