Women’s Asia Cup 2026: එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුළු 9ක ජයක්

ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජයග්‍රහණයකින් ආරම්භ කළහ.

මෙහිදී පළමුව පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 79කට සීමා කිරීමට පන්දු යවන්නියන් සමත්වද්දී එම ඉලක්කය පන්දුවාර 7.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යෑමටපිතිකාරිණීයෝ සමත්වූහ. ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කරන විට තවත් පන්දු 73ක් සහ කඩුලු 9 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

නව පන්දුවෙන්ම ප්‍රතිවාදී පිතිකාරිනියන්ට දැඩි පීඩනයක් එල්ල කළ 19 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකා මිතලි අයෝධ්‍යා සහ සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ චෙතනා විමුක්ති ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධානතම සාධක බවට පත්වූහ. පන්දුවේ දෝලනය මැනවින් උපයෝගී කරගත් ඔවුන් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිතිකාරිනියන්ට ලකුණු රැස් කිරීමේ අවස්ථා සීමා කළ අතර, අවසන් පන්දුවාරවලදී නැවත පැමිණ කඩුලු දවාගනිමින් ප්‍රතිවාදී ඉනිම සම්පූර්ණයෙන්ම බිඳ දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, නව පන්දුව මිතලි අයෝධ්‍යා වෙත භාර දුන්නාය. නායිකාවගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ මිතලි ඉනිමේ සිව්වැනි පන්දුවේදීම තීර්ථා සතීෂ් ලකුණු නොලබා දවාගත්තාය. අවසන් මොහොතේ ඇතුළට පැමිණි පන්දුවක් පිත්තේ වැදී කඩුල්ලේ වැදීමෙන් සතීෂ්ට ආපසු ක්‍රීඩාගාරයට යාමට සිදු විය.

ඉන් අනතුරුව සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ චෙතනා විමුක්තිද පන්දුවේ දෝලනයෙන් ප්‍රතිවාදී පිතිකාරිනියන් අසීරුතාවට පත් කළාය. පිට ඉන්න ඉලක්ක කරමින් යැවූ පන්දුවක් ලාවන්‍යා කේනිගේ පිත්ත පසුකර කඩුල්ලේ වැදීමෙන් ඇය ලකුණු 3කට දැවී ගියාය. එය චෙතනාගේ මංගල විස්සයි20 ජාත්‍යන්තර කඩුල්ල විය.

පළමු පන්දුවාර හය අවසන් වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු දෙකක් දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 22ක් පමණි. නායිකා ඒෂා ඔසා එල්ල කළ හතරේ පහරක් ඔවුන්ගේ පළමු පන්දුවාර හයේදී ලැබුණු එකම ප්‍රධාන ප්‍රහාරය විය.

ඉනිමේ මැද පන්දුවාරවලදීද ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ප්‍රතිවාදීන්ට නිදහසේ පහර දීමට අවස්ථාවක් ලබා නොදුන්හ. වමත් දඟ පන්දු යවන සුගන්ධිකා කුමාරි සිය දෙවැනි පන්දුවාරයේදී ඒෂා ඔසා ලකුණු 18කට දවාගත් අතර, කවිෂා දිල්හාරිගේ මන්දගාමී පන්දුවකට සමයිරා ධර්නිධර්කා ලකුණු 17කට දැවී ගියාය.

රිනිථා රාජිත් සහ ධර්නිධර්කා හතරේ පහර කිහිපයක් එල්ල කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිමට යම් ජීවයක් ලබාදීමට උත්සාහ කළද, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පීඩනය හමුවේ දිගු සබඳතාවක් ගොඩනැගීමට ඔවුන්ට නොහැකි විය. අවසන් පන්දුවාර සඳහා නැවත පැමිණි මිෙතලි සහ චෙතනා තම අවසන් පන්දුවාරවලදී කඩුලු දෙක බැගින් දවාගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිම පන්දුවක් ඉතිරිව තිබියදී ලකුණු 79කට අවසන් කළහ.

ලකුණු 80ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනී ඉමේෂා දුලානි පළමු පන්දුවේ සිටම වේගවත් පිතිහරඹයක නිරත වූ අතර, හතරේ පහරකින් සිය ඉනිම ආරම්භ කළාය. නායිකා චමරි අතපත්තුද ඊට එක්වෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පන්දු යවන්නියන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළාය.

ඒෂා ඔසා යැවූ පන්දුවකට ඉදිරියට පැමිණ මිඩ්-ඕෆ් කලාපයට ඉහළින් එල්ල කළ එම දැවැන්ත පහරත් සමඟ චමරි කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ ලකුණු 500 සීමාව පසු කළ පළමු පිතිකාරිනිය බවට ඉතිහාසගතවූවාය.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට මුහුණදීමට ඉමේෂා දුලානිට සිදු විය. චමරි එල්ල කළ පහරක් පන්දු යවන අන්තයේ කඩුල්ල වෙත ඇදී යද්දී එය නතර කිරීමට පන්දු යවන්නිය දැරූ උත්සාහයේදී පන්දුව ඇගේ අතේ වැදී කඩුල්ලේ වැදිණි. එම අවස්ථාවේදී ඉමේෂා දුලානි තම සීමාවෙන් පිටත සිටීම හේතුවෙන් ඇයට ලකුණු 25 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

එම දැවී යාමෙන් පසුවද චමරි අතපත්තු සිය ප්‍රහාරය නතර නොකළාය. පන්දු 25කට පමණක් මුහුණ දුන් ඇය නොදැවී ලකුණු 48ක් රැස් කළේ හතරේ පහර හතක් සහ හයේ පහරක් සමඟිනි. අවශ්‍ය ලකුණු ප්‍රමාණය වේගයෙන් අඩු කළ චමරි, ශ්‍රී ලංකාවට තරගයේ තවත් පන්දු 73ක් ඉතිරිව තිබියදී කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමිකර දුන්නාය.

ඒ අනුව 2026 කාන්තා ආසියානු කුසලාන ශූරතාව රැක ගැනීමේ අරමුණින් තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව, පන්දු යැවීමෙන් ප්‍රතිවාදීන් අඩපණ කරමින් සහ නායිකා චමරිගේ ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් තරගය පහසුවෙන් තමන් සතු කර ගනිමින් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පන්දුවාර 19.5 කදී ලකුණු 79 යි – (ඒෂා ඔසා 18, හීනා කොටචන්චනී 10, සමයිරා ධර්බිධාර්කා 17, රිනිතා රජිත් 15, මිතලි අයෝද්‍යා 14/3, චේතනා විමුක්ති 16/3, සුගන්ධිකා කුමාරි 18/3, චමුදි ප්‍ර බෝධා 10/1, කවීෂා දිල්හාරි 09/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 7.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 80 යි – (ඉමේෂා දුලානි 25, චමරි අතපත්තු 48*, සංජනා කාවින්දි 05*)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website