ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද පස්වැනි මට්ටමේ (Level 5) විනිසුරු විභාගය සමත් වූ නව ක්රිකට් විනිසුරුවන් 51 දෙනකුට සහතික පත් ප්රදානය කිරීම පසුගියදා ශ්රී ලංකා ක්රිකට් ආයතන මූලස්ථානයේදී සිදු කෙරිණි.
මෙම විනිසුරුවන් කණ්ඩායමට පිරිමි විනිසුරුවන් 47 දෙනකු සහ කාන්තා විනිසුරුවන් සිව්දෙනකු ඇතුළත් වන අතර, ඔවුන් ශ්රී ලංකාවේ ක්රිකට් විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීම සඳහා අවශ්ය මූලික සුදුසුකම් සපුරා ගත් නවක විනිසුරුවෝ වෙති.
අදාළ විභාගය 2026 මැයි 3 වැනිදා කොළඹ නාලන්දා විද්යාලයේදී පැවැත්විණි. සුදුසුකම් සපුරා ගත් මෙම විනිසුරුවන්ට ඉදිරියේදී ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දිස්ත්රික් හා පළාත් මට්ටමේ තරගාවලිවල විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ.
පාසල්, දිස්ත්රික් හා පළාත් මට්ටමේ ක්රිකට් තරග සඳහා ප්රමාණවත් විනිසුරුවන් සංඛ්යාවක් යෙදවීම සහ තරග විනිශ්චය කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රියාත්මක කරන වැඩපිළිවෙළේ තවත් පියවරක් ලෙස මෙම නව විනිසුරුවන් බඳවා ගැනීම සැලකිය හැකිය. විනිසුරුවන් බඳවා ගැනීම වාර්ෂිකව සිදුකරන ක්රියාවලියක් නොවන අතර, අවශ්යතාව මත එය ක්රියාත්මක කෙරේ.
පස්වැනි මට්ටමෙන් ආරම්භ වන ශ්රී ලංකා ක්රිකට් විනිසුරු සංවර්ධන ක්රියාවලිය තුළ, විනිසුරුවන්ට තම කැපවීම, දක්ෂතාව හා කාර්යසාධනය මත ඉහළ මට්ටම් කරා ප්රගතියක් ලබාගැනීමට අවස්ථාව සැලසේ. ඒ අනුව, සිව්වැනි, තෙවැනි හා දෙවැනි මට්ටම් පසුකර පළමු පෙළ විනිසුරු තත්ත්වයට උසස්වීමේ හැකියාව ඔවුන්ට හිමි වේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් විනිසුරුවන් 20 දෙනකුගෙන් සමන්විත පළමු පෙළ විනිසුරු මණ්ඩලයක් පවත්වාගෙන යනු ලබන අතර, එම මණ්ඩලය ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ (ICC) ජාත්යන්තර විනිසුරු මණ්ඩලයට විනිසුරුවන් නම් කිරීම සඳහා සලකා බලන ප්රධාන විනිසුරු සංචිතය ලෙසද ක්රියා කරයි.
සහතික පත් ප්රදානෝත්සවය සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දේශීය ක්රිකට් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන, ශ්රී ලංකාව නියෝජනය කළ හිටපු ක්රිකට් ක්රීඩකයකු මෙන්ම ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ ප්රභූ විනිසුරු මණ්ඩලයේ (ICC Elite Panel) හිටපු සාමාජිකයකු වන අසෝක ද සිල්වා මහතා සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විනිසුරු සංවර්ධන අංශයේ ජ්යෙෂ්ඨ කළමනාකරු ලෙස කටයුතු කරන, ICC හිටපු විනිසුරුවකු වන ලින්ඩන් හැනිබල් මහතා ද සහභාගි වූහ.
මෙම වැඩපිළිවෙළ මඟින් නව විනිසුරුවන්ට දේශීය ක්රිකට් ක්රීඩාව තුළ අත්දැකීම් ලබාගනිමින් ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව සැලසෙන අතර, ශ්රී ලංකාවේ ක්රිකට් තරග විනිශ්චය ක්ෂේත්රය ශක්තිමත් කිරීමට ද දායකත්වයක් ලැබෙනු ඇත.
මූලාශ්රය – ශ්රී ලංකා ක්රිකට් ඇසුරිණි
















