පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන යොවුන් ක්රීඩකයෝ සමත් වූහ. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයට පත්විය.
මුල් තරගයෙන් ලකුණු 99ක ජයක් ලැබූ ශ්රී ලංකා කණ්ඩායමට දෙවැනි තරගයේදී එම දස්කම් නැවතත් ප්රදර්ශනය කිරීමට නොහැකි වූ අතර, පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 274ක් රැස් කළේය.
පාකිස්තාන ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූ මුහම්මද් යූසුෆ් පන්දු 135කදී ලකුණු 117ක් රැස් කරමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර සහ හයේ පහර ඇතුළත් වූ අතර, සුදයිස් අහමඩ් ලකුණු 42ක් රැස් කළේය. අසාන් අහමඩ් සහ නවීඩ් ලකුණු 26 බැගින් ලබා ගනිමින් පාකිස්තාන ඉනිමට දායක වූහ.
ශ්රී ලංකා පන්දු යවන්නන් අතරින් රෙෂාන් සොලමන්ස් කඩුලු 3ක් දවාගත් අතර, මහිරු කොඩිතුවක්කුසහ තරූක සමන්ජිත් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.
ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 123ක් පමණි. ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චෙනුක දොඩන්ගොඩ පන්දු 88කදී ලකුණු 50ක් රැස් කළේය. ශෂිත් සහ සන්දරු මල්ෂාන් ලකුණු 16 බැගින් ලබා ගත්හ.
පාකිස්තාන පන්දු යවන්නන් අතරින් ෆහාඩ් ඉක්බාල් ලකුණු 24කට කඩුලු 4ක් දවාගනිමින් ශ්රී ලංකා ඉනිම අඩපණ කළේය.
මෙම තරගයේදී ශතකයක් වාර්තා කළ මුහම්මද් යූසුෆ්, දෙපිල අතර පැවැති තෙදින තරගයේදී ද ලකුණු 161ක් රැස් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ශ්රී ලංකා යොවුන් පන්දු යවන්නන් හමුවේ අඛණ්ඩව පිත්තෙන් දස්කම් දැක්වීමට ඔහු සමත්ව සිටී.
තරගාවලියේ තෙවැනි එක්දින තරගය දෙපිලටම තරගාවලියේ පෙරමුණ ගැනීම සඳහා තීරණාත්මක වනු ඇත.
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ – 274/9 (පන්දුවාර 50) – මුහම්මද් යූසුෆ් 117, සුදයිස් අහමඩ් 42, අසාන් අහමඩ් 26, නවීඩ් 26, රෙෂාන් සොලමන්ස් 39/3, මහිරු කොඩිතුවක්කු 29/2, තරූක සම්ජිත් 39/2.
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ – සියල්ලන් දැවී 123 (පන්දුවාර 40) – චෙනුක දොඩන්ගොඩ 50, ශෂිත් 16, සන්දරු මල්ෂාන් 16 , ෆහාඩ් ඉක්බාල් 24/4, හමීඩ් රාසා 24/2, අම්මර් ඛාන් 34/2, මොහොමඩ් සයිම් 36/2
source:srilankacricket.lk














