උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයින් දැනුවත් කෙරේ

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ ඊට අදාළ ඉදිරි පියවර පිළිබඳ වෘත්තීය සංගම් නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ වෘත්තීය සංගම් නියෝජිතයින් පිරිසක් අතර ඊයේ (21) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව, ඉදිරි සම්මුඛ පරීක්ෂණ පවත්වන ආකාරය සහ සමස්ත බඳවා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන් හා විධිමත්ව සිදු කරන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එසේම, මේ වන විට මේ හා සබැඳිව සමාජය තුළ කතාබහට ලක්වන ප්‍රධාන ගැටලු කෙරෙහි ද විශේෂ අවධානය යොමු විය.

මීට පෙර පැවති අධිකරණ ක්‍රියාමාර්ග සහ ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දී ඇති එකඟතාවන් පදනම් කරගනිමින් මෙම බඳවා ගැනීම් සිදු කරන බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඇතැම් පිරිස් මේ සම්බන්ධයෙන් පතුරුවන අසත්‍ය මතවාදයන්ට නොරැවටෙන ලෙස ද ඉල්ලා සිටියේය. තවද, අදාළ බඳවා ගැනීමේ කටයුතු ඉතා කඩිනමින් සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා, සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් මෙන්ම, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අමල් එදිරිසූරිය මහතා ඇතුළු අමාත්‍යාංශයීය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website