2026.07.15 දින සවස් කාලයේ කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන අංශයේ රාජකාරි යෙදී සිටි නිලධාරින් යතුරුපැදියක් පරික්ෂා කිරීම සඳහා සංඥා කර ඇති අතර එම සංඥා වලට අවනත නොවී යතුරුපැදිකරු නොනවත්වා ධාවනය කිරීමක් සිදුකර ඇත.
පලායන යතුරුපැදිය යම් අපරාධයකට සම්බන්ධ බවට සැකසිතී මෙම යතුරුපැදිය පසුපස රථවාහන අංශයේ නිලධාරින් දෙදෙදෙනා හබාගොස් ඇති අතර කටුනායක පොලිස් වසමේ දැවමොට්ටාව ප්‍රදේශයේදී එම යතුරුපැදිකරු හා පසුපැදිකරු යතුරුපැදිය අතහැර පලායාමක් සිදු කර ඇත.
මෙහිදී නිලධාරින් වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් පසුපස හබාගොස් පලාගිය සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු නිලධාරියෙකුගේ ආරක්ෂාව යටතේ රඳවා අනෙක් නිලධාරියා විසින් සැකකරුවන් පැමිණි යතුරුපැදිය රැගෙන ඒමට කටයුතු කරන අවස්ථාවේදී සැකකරු අවි සහිත පොලිස් නිලධාරියාට බලහත්කාරය පාමින් නිලධාරියා සමඟ පොරබදා පහරදීමක් සිදුකර ඇත.
එම අවස්ථාවේදී මෙම සැකකරු පොලිස් නිලධාරියා සතුව තිබූ ගිනි අවිය පැහැරගැනීමක් සිදුකර ඇත. මෙම ගැටුම සම්බන්ධව එම ස්ථානයට ආසන්න මාර්ග බාධකයේ පොලිස් නිලධාරින් දැන ගැනීම මත ගැටුම සිදුවන ස්ථානයට මාර්ග බාධකයේ පොලිස් නිලධාරියෙකු පැමිණෙන අවස්ථාවේ සැකකරු විසින් එම නිලධාරියගේ පාදයට වෙඩි තබා ඇත. වෙඩි තැබීම හේතුවෙන් නිලධාරියා තුවාල ලබා ඇත. සැකකරු එම අවස්ථාවේ මාර්ගයේ ගමන්ගත් යතුරුපැදිකාරියක් ගිනි අවිය පෙන්වා බිය ගන්වා එම යතුරුපැදිය රැගෙන පලාගොස් ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබිණි. ඒ අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් දිවුලපිටිය ප්‍රදේශයෙදී වෙඩි තැබීම සිදුකල සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු භාරයේ තිබූ පොලිස් නිලධාරියාගේ ගිනි අවියද පැහැරගන්නා ලද යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41 ක් වන දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක නගර ආරක්ෂක කණ්ඩයට අනුයුක්තව 2008 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා සේවය කරන ලද අයෙක් බවට විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මීගමුව රෝහලටත් පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලටත් ඇතුලත් කර ඇති අතර අනෙකු සැකකරු අත්ඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරනු ලබයි..















