ගෝලීය ආර්ථික පරිවර්තනයන් ග්‍රහණය කරගනිමින් අසල්වැසි කලාපීය රටවල් වේගයෙන් ඉදිරියට ඇදෙන ආකාරය අද අපට පැහැදිලිවම දැකගත හැකිය. එසේ වුවද, විදේශ ණය අර්බුදය සහ දිගුකාලීන රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ බිඳවැටීම් ඔස්සේ ශ්‍රී ලංකාව තවදුරටත් ව්‍යුහාත්මක දුබලතාවන්ගෙන් පීඩා විඳීමේ අවදානමකට මුහුණ දී සිටින බවනම් නොරහසකි. කලාපීය සහෘදයන්ගේ මෙම නැඟී සිටීම හමුවේ අප වෙළාගෙන ඇති සැබෑ ආර්ථික හා සමාජීය ඛේදවාචකයේ ගැඹුර අප තවමත් නිවැරදිව හඳුනාගෙන ඇති බවක් නොපෙනේ.
බල කේන්ද්‍රය විතැන්වීම
දැනටමත් උදාවී ඇති සිව්වන කාර්මික විප්ලවය හමුවේ, පසුගිය දශකය තුළ ලෝක ආර්ථිකයේ මෙහෙයුම් හිමිකාරිත්වය චීනය, ජපානය හා දකුණු කොරියාව අතර දෝලනය වීමක් දැගත හැකි විය. එයිනුදු චීනය ලෝකයේ නිෂ්පාදන කේන්ද්‍රස්ථානය ලෙස තම ආධිපත්‍යය වඩ වඩාත් තහවුරු කරගනිමින් පෙරමුණ ගෙන ඇත. ලෝක ආර්ථිකයේ බල කේන්ද්‍රය මෙලෙස ක්‍රමයෙන් ආසියාව දෙසට විතැන්වෙමින් පැවතීම බටහිර බලවතුන්ගේ කනස්සල්ලට හේතුවීම අරුමයක් ද නොවේ. මෑත අතීතයේ වසර පහක පමණ කාලයක සිට චීන ආර්ථිකයේ හැසිරීම් පාලනය කිරීමට බටහිර ජාතීන් ගන්නා වක්රාකාර උත්සාහයන් වෙතින් එය මැනවින් පිළිබිඹු කරයි.
මෙම තත්ත්වය අනෙකුත් ආසියාතික රටවලට නව අවස්ථා උදාකර දෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස කාර්මික නිෂ්පාදන, තාක්ෂණික සේවා සහ සැපයුම් දාම Supply Chains උදෙසා ආයෝජන ගමනාන්ත ලෙස ආසියානු කලාපයේ ඉන්දියාව, වියට්නාමය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය තෝරා ගැනීමට ජාත්‍යන්තර ආයෝජකයින් නැඹුරු වෙමින් සිටී. මෙගා ව්‍යාපෘති ඔස්සේ කෙරෙන මෙවැනි ආයෝජන හමුවේ ඔවුනට චීනය අභිබවා යාමට නොහැකි වුවද, එකී රාජ්‍යයන් ප්‍රමාණාත්මකව ඉහළ ආර්ථික වර්ධන අනුපාත අත්පත් කරගනිමින්, ඉදිරි දශකයේ ලෝක ආර්ථිකයේ දිශානතිය වෙනස්කරන ප්‍රධාන නියමුවන් වන බවට ඉඟි පළ කරමින් සිටියි.
පෙරකී රාජ්‍යයන්ගේ පරිවර්තනය කිසිසේත් අහම්බයක් නොවේ. ස්වාභාවික විපත්, දරිද්‍රතාව, දේශපාලන අර්බුද සහ සම්පත් ඌනතා මැද සිටි එම රටවල් මේ වනවිට දකුණු හා අග්නිදිග ආසියාවේ ප්රමුඛ ආර්ථිකයන් ලෙස ඉස්මතුවීමට හේතු කාරක වූයේ මොනවාද? යන්න විමසා බැලීම අපට වැදගත් වේ. රාජ්‍ය පරිපාලනය, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ නිෂ්පාදන වෙළඳපොළ රටේ ජාතික සංවර්ධනයේ සැබෑ හවුල්කරුවන් ලෙස සංයෝජනය කළ විට අත්කර ගත හැකි ප්‍රතිඵල, එම රටවල් මැනවින් ඔප්පු කර තිබේ. එහිදී ඔවුන් අනුගත සංවර්ධන සැලසුම්, ගතික ආර්ථික ප්‍රතිසංස්කරණ, මානව ප්රාග්ධනය Human Capital සහ විශ්වාසනීය රාජ්‍ය සේවාවක තුලනාත්මක සබැඳියාවේ ප්‍රතිඵල ලොවට පෙන්වා දෙයි.
සංවර්ධනයේ සැබෑ පදනම
බොහෝ අවස්ථාවන්හි වියට්නාමය හෝ මැලේසියාව ගැන කතා කරන විට බහුතරයකගේ අවධානය යොමුවන්නේ දැවැන්ත කර්මාන්තශාලා, නිෂ්පාදන අපනයනය සහ විදේශ ආයෝජන වෙතය. යුද්ධයෙන් විනාශ වූ වියට්නාමය, සම්පත් නොතිබූ සිංගප්පූරුව හෝ 70 දශකයේ ලංකාවට වඩා දුප්පත් වූ දකුණු කොරියාව අද ගෝලීය ආර්ථිකයේ ඉදිරියෙන්ම සිටී. එම රටවල සාර්ථකත්වයේ සැබෑ ආරම්භය සිදුවූයේ කර්මාන්තශාලාවලින් නොව, මිනිස් චර්යා රටාවන් සහ ආයතනික ක්‍රියාකාරී ව්‍යුහයන් හැඩ ගැස්වීම ඔස්සේය. ඒ උදෙසා එකී රාජ්‍ය නායකයින්ගේ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ හේතුකාරක වූ බව විචාරක මතයයි. එමගින් ගම්‍ය වන්නේ කුමක්ද? සංවර්ධනය ගොඩනැගෙන්නේ ස්වභාවික සම්පත් මත නොව, රාජ්‍යයක ප්රතිපත්තිවල ගුණාත්මකභාවය මත බව එම රටවල මෑත කාලීන ඉතිහාසය අපට පැහැදිලි කරයි.
1986 දී වියට්නාමය Đổi Mới ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කළේ මධ්‍යගත සැලසුම්ගත ආර්ථිකයක සිට වෙළඳපොළ-නැඹුරු ආර්ථිකයක් Market-oriented Economy වෙත ක්‍රමානුකූලව සංක්‍රමණය වීම සඳහාය. පෞද්ගලික ව්‍යාපාර සඳහා නීතිමය පිළිගැනීම, විදේශ ආයෝජන සඳහා විවෘතභාවය සහ ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වීම එහි ප්‍රධාන පියවර විය. නීති රීති වෙනස් වූ පසුව එරටට ආයෝජකයින් පැමිණි අතර, ආයෝජකයින් පැමිණි පසුව රැකියා බිහි වී ආර්ථික වර්ධනය සිදුවූ ආකාරය ඉතා පැහැදිලි වේ.
මැලේසියාවේ පරිවර්තනය ද මීට වෙනස් නොවේ. 70 දශකයේ දී කෘෂිකාර්මික ආර්ථිකයක සිට ඉලෙක්ට්‍රොනික සහ උසස් තාක්ෂණික නිෂ්පාදන හා සේවා සපයන්නෙක් දක්වා එරට ගමන් කළේ New Economic Policy (NEP) ඔස්සේ එතෙක් පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරමිනි. ආර්ථිකයට තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ සහ වටිනාකමක් එක් කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, මැලේසියානු රජය 90 දශකයේ මුල සිටම මූල්‍ය, සංචාරක, අධ්‍යාපනය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් ප්‍රවර්ධනය කිරීම ආරම්භ කළේය. 1996 දී එරට රජය දියත් කරන ලද බහුමාධ්‍ය සුපිරි කොරිඩෝව Multimedia Super Corridor මෙම සංක්රාන්තියේ වැදගත් සන්ධිස්ථානයක් විය. මේ අතර 1991 සිට ඉන්දියාව ලිබරල්කරණය, පෞද්ගලීකරණය සහ ගෝලීයකරණය ඔස්සේ රට ගෝලීය වෙළඳාමට විවෘත කළේය. දැඩි ව්‍යාපාරික නීති ඉවත් කෙරුණි. ඉන්දියාව අද පවතින ප්‍රධාන නවීන ආර්ථිකය දක්වා වර්ධනය වීමට එම ප්‍රතිසංස්කරණ උපකාරී විය. ඉන් ඔබ්බට ගිය ඉන්දියාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය උදෙසා ආයෝජන දිරිමත් කරන ලදී. අද ලෝකයේ විශාලතම ඩිජිටල් සේවා අපනයනකරුවෙකු බවට ඉන්දියාව පත්වී ඇත්තේ එරට පාලකයින් ගත් එවැනි දූරදර්ශී පිළිවෙත් හේතුවෙනි.
යටිතල පහසුකම්
මෑත අතීතයේ වසර කිහිපයක සිට උදාවෙමින් පවතින සමාජ පරිවර්තනය හමුවේ කලාපීය රටවල් අධ්‍යාපනය සලකා බැලුවේ සමාජ සුබසාධන සේවාවක් ලෙස නොව, උපායමාර්ගික ආර්ථික ආයෝජනයක් ලෙසය. වියට්නාමය විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය – STEM අධ්‍යාපනයට දැවැන්ත ලෙස ආයෝජනය කළ අතර, ඉන්දියාව තාක්ෂණික වෘත්තිකයන් බිහිකිරිමට කටයුතු කළේය. විශ්වවිද්‍යාල උපාධියක් ලබාදීම පමණක් අවසාන අරමුණ නොවූ ඔවුන්ගේ සැබෑ ඉලක්කය වූයේ ලෝක වෙළඳපොළට අවශ්‍ය නිපුණතා ඇති ශ්‍රම බලකායක් Skilled Workforce බිහි කිරීමයි. විශේෂයෙන්ම, වියට්නාමය සිය පාසල් පද්ධතිය තුළ කේතකරණය Coding සහ රොබෝ තාක්ෂණය ප්‍රාථමික මට්ටමේ සිටම අනිවාර්ය කරද්දී, ඉන්දියාව Council of Indian Institutes of Technology වැනි ආයතන හරහා Google හා Microsoft වැනි ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සේවා සපයන සමාගම්වල ප්‍රධානීන් බිහි කරන තෝතැන්නක් බවට පත්ව ඇත. අද ව්‍යාපාරික ලෝකය ඉල්ලා සිටින්නේ; කෘත්‍රිම බුද්ධිය , දත්ත විද්‍යාව, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් මූල්‍ය සේවා පිළිබඳ ප්‍රායෝගික නිපුණතාවය සහිත මානව සම්පත්ය. උක්ත රටවලට සාපේක්ෂව ඊට සරිලන ලෙස අධ්‍යාපනය කලානුරූපව හැඩගැස්වීමට යුහුසුළු නොවීම අපේ රටේ කැපී පෙනෙන දුබලතාවයකි.
එමෙන්ම, යටිතල පහසුකම් සංවර්ධනය කළ යුත්තේ කෙසේද යන්න උක්ත රටවල් මනාව පෙන්වා දෙයි. මැලේසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව තම වරාය, කාර්මික නිෂ්පාදන කලාප, අධිවේගී මහා මාර්ග සහ විදුලි සැපයුම ඒකාබද්ධ නිෂ්පාදන පද්ධතියක කොටස් කරුවන් ලෙස සැලසුම් කිරීමද විශේෂත්වයකි. ඒ හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය සහ සැපයුම් පිරිවැය Logistics Costs පහත වැටුණු අතර, ගෝලීය සැපයුම් දාමයන්ට සම්බන්ධවීම ඉන් පහසු විය. ලෝකයේ කාර්යබහුලම මුහුදු මාර්ගයක් අසල පිහිටා තිබීමේ භූගෝලීය වාසිය ශ්‍රී ලංකාවට සතු වුවද වරාය, ගුවන් තොටුපළ, ඩිජිටල් සම්බන්ධතා සහ කාර්මික කලාප එකම සැපයුම් දාමයක කොටස් ලෙස ඒකාබද්ධ කර ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවීම නිසා එහි ප්රතිලාභ අත්පත්කර ගැනීම අදටත් අපට අහිමි වී පවතී.
ගෝලීය වෙළඳ ප්රවණතා
මෑත අතීතයේ සිට උද්ගත වෙමින් පවතින භූ-දේශපාලනික ව්‍යාකූලත්වය හමුවේ බහුජාතික සමාගම් චීනය මත පමණක් යැපීමේ අවදානම අඩු කිරීම සඳහා තම නිෂ්පාදන කේන්ද්‍රස්ථාන විවිධ රටවලට ව්‍යාප්ත කිරීමේ China+1 උපායමාර්ගයකට අනුගත වෙමින් සිටී. මෙම අවස්ථාවෙන් වැඩිම ප්රතිලාභ ලබාගෙන ඇත්තේ වියට්නාමය, ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල්ය. මෙහිදී නූතන ආයෝජකයා සොයන්නේ හුදෙක් අඩු වැටුප් යටතේ සේවයකරන ශ්‍රමිකයන් පමණක් නොව, අවම පිරිවැයක් යටතේ දිගුකාලීන දේශපාලන ස්ථාවරත්වයක් සහ කාබන් ශුන්‍ය / උදාසීන Carbon Neutral නිෂ්පාදන පරිසරයක් සපුරා ගැනීමට ඇති හැකියාවයි. මෙවැනි තත්වයන් යටතේ විශේෂයෙන්ම දේශගුණික අර්බුදයට විසඳුම් සෙවීමේ දී ලොව පුරා පිරිසිදු බලශක්තිය සඳහා ඇති ප්‍රවේශය කෙරෙහි පුළුල් අවධානයක් ජාත්‍යන්තර ව්‍යාපාර අපේක්ෂා කරයි. ඒ අනුව ඉදිරි දශකය තුළ Apple හා Nike වැනි ප්රමුඛ පෙළේ සමාගම් තම ගෝලීය සැපයුම්කරුවන් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුකිරීමට තම අවධානය යොමුකර තිබේ. එවන් පසුබිමක් තුළ 2030 වසර ඉලක්ක කරගනිමින් ආසියාවේ බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්තිය සහ හරිත කර්මාන්තකරණය වේගවත් කරමින් සිටින්නේ එය හුදෙක් පරිසර ප්‍රතිපත්තියක් නොව, අනාගත වෙළඳ තරඟකාරීත්වය තීරණය කරන ප්‍රධානතම නිෂ්පාදන සංරචකයක් වන බැවිනි.
මේ අතර අග්නිදිග ආසියාවේ විද්‍යුත් වාහන EV නිෂ්පාදනයේ සහ භාවිතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සඳහා තායිලන්තය ඉතා දිරිමත් පියවර රැසක් තබා ඇත. තායිලන්තයේ විද්‍යුත් වාහන ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ දේශීය නිෂ්පාදනය සහ පාරිභෝගිකයින් විද්‍යුත් වාහන භාවිතයට යොමුවීම යන කරුණු දෙකම දිරිමත් වන පරිදිය. මෝටර් රථ කර්මාන්තය පරිවර්තනයකට ලක් කිරීම සහ රටේ කාබන් පියසටහන (කාබන් විමෝචනය) අවම කිරීම අරමුණු කරගත් මෙම පුළුල් උපාය මාර්ගයට, විවිධ දිරිගැන්වීම්, බදු සහන සහ යටිතල පහසුකම් සංවර්ධන සැලසුම් රැසක් ඇතුළත් වේ. එවැනි තත්ත්වයන් යටතේ අප රටට දැනටමත් ආනයනයකර ඇති විද්‍යුත් වාහන සඳහා අවම වශයෙන් පොදු ආරෝපණ මධ්‍යස්ථාන Charging Stations ජාලයක් හෝ රට තුළ ක්‍රමවත්ව ස්ථාපිත කර ගැනීමට තවමත් අපොහොසත් වී සිටිමු. එමෙන්ම දේශීය වශයෙන් විද්‍යුත් වාහන භාවිතය දිරිගැන්වීමට සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් රට තුළ බිහි කිරීම අරභයා තාක්ෂණික ප්රමිතීන් ඇතුළත් ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගා ක්‍රියාත්මක කිරීමට තවමත් ප්‍රමාදවීම, අප රටක් ලෙස තාක්ෂණිකව කොතරම් පසුපසින් සිටින්නේද යන්න ඊට කදිම නිදසුනකි. කලාපීය රටවල් හරිත බලශක්තිය සිය ආර්ථිකයේ ප්‍රධානතම තරඟකාරී මෙවලම කරගන්නා විට, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මන්දගාමී වීම හේතුවෙන් ශ්‍රි ලංකාව එම ස්වර්ණමය අවස්ථාව ප්‍රමාද කර ගනිමින් සිටී.
ණය වෙනුවට ආයෝජන
ආසියානු සංවර්ධන බැංකුවේ ADB නවතම වාර්තා පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාව 2024 සහ 2025 වසරවලදී 5.0% ක ස්ථාවර ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින්, විදේශ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන පිබිදීමක් සමඟ ආර්ථිකය හැඩගැස්සවීමට සාර්ථක පියවර ගෙන ඇති බව පවසයි. වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම වැනි තීරණ හරහා ආර්ථිකය ලිහිල් වෙමින් පැවතියද, ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරන්නේ 2026 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය 4.0% දක්වා මන්දගාමී වනු ඇති බවයි. ඊට ප්‍රධානතම හේතුව මැදපෙරදිග පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාවන් සහ එමඟින් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම නිසා උද්ධමනය 5.2% දක්වා තියුණු ලෙස ඉහළ යාමේ අවදානම බව පෙන්වා දෙයි.
අපට අවශ්‍ය වන්නේ GSP+ වැනි තීරුබදු සහන පහසුකම් ආරක්ෂා කර ගැනීම පමණක්ම නොවේ. දේශීය වශයෙන් නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම උදෙසාවන කඩිනම් ව්‍යුහාත්මක ප්රතිසංස්කරණයකි. එමෙන්ම ගෝලීය අවිනිශ්චිතතාවලින් එල්ල වන බලපෑම් අවම කර ගැනීමට උචිත ක්‍රියාමාර්ග කඩිනමින් අරගැනීම ඊට සමගාමීයව කල යුතු දෙයකි.
අප කවුරුත් පාහේ දන්නා පරිදි, පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අවධානය යොමුව තිබුණේ විදේශ ණය ලබාගැනීම වෙතය. එහෙත් ආසියාවේ සාර්ථක ආර්ථිකයන් ගොඩනැගුණේ ණය ආධාර මත නොව, සෘජු විදේශ ආයෝජන Foreign Direct Investment, තාක්ෂණික හුවමාරු සහ ඒකාබද්ධ ව්‍යාපාර Joint Ventures මත බව පැහැදිලි වේ. එබැවින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය, ණය සොයා යන රාජ්යතාන්ත්රිකත්වයක සිට ආයෝජන සහ වෙළඳාම සොයා යන ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකත්වයක් Economic Diplomacy බවට පරිවර්තනය විය යුතුය. තරඟකාරී බල කඳවුරු වූ චීනය, ඉන්දියාව, ජපානය, යුරෝපා සංගමය සහ ඇමරිකාව සමඟ ඇති සබඳතා සමබරව පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා වන සමාන්තර අවස්ථා හඹායාමේ පරිණතභාවයකින් යුතු රටක් ලෙස නැගී සිටිය යුතුය.
ආකල්ප සහ ආයතනික ව්‍යුහ
මෙවැනි වටපිටාවක් යටතේ අප අවබෝධකරගත යුත්තේ කුමක්ද?, මෙරට ආර්ථිකයේ විෂම සංවර්ධනයට හේතුව සම්පත් හිඟය නොව, ප්‍රතිපත්තිමය අඛණ්ඩතාවයක් Policy Consistency නොමැති බවනම් ඉතා පැහැදිලි වේ. ආණ්ඩුවක් හෝ පාලකයින් වෙනස් වන සෑම අවස්ථාවකම පෙර සංවර්ධන සැලසුම් වෙනස් කිරීම, ආයෝජන ගිවිසුම් නැවත සමාලෝචනය කිරීම සහ බදු ප්‍රතිපත්ති හදිසියේ වෙනස් කිරීම, මේවනවිටත් ශ්‍රී ලංකාවේ ආර්ථික විශ්වාසනීයත්වයට Sovereign Credibility දැඩි හානියක් සිදු කර ඇත. ආයෝජකයකුගේ ප්‍රධාන ප්රශ්නය වන්නේ රටක බදු අනුපාතය කුමක්ද යන්න නොව, “වසර පහකට හෝ දහයකට පසුවත් මෙම නීතිමය රාමුව මේ අයුරින්ම පවතිනවාද?” යන්නයි. ජනප්‍රියවාදී පොරොන්දු, කෙටිකාලීන දේශපාලන වාසි සහ ඡන්ද පදනම් කරගත් තීරණ දිගුකාලීන සංවර්ධන සැලසුම් අභිබවා ගොස් ඇත. අපට අද වඩාත් අවශ්‍ය වන්නේ තවත් පස් අවුරුදු සැලැස්මක් නොව, ආණ්ඩු මාරුවුවද වෙනස් නොවන “ජාතික ආර්ථික සම්මුතියක්” National Economic Consensus බව පැහැදිලි වේ.
ඉන් බැහැරව, දැකගතහැකි රාජ්‍ය නිලධාරීවාදය හා රාජ්‍ය අංශ නිර්ප්‍රභූ දේශපාලනීකරණය සහ සූක්ෂම දූෂණය, ආයෝජන පලවාහරින නිහඬ බාධක ලෙසින් ජාත්‍යන්තරය තුළ ප්රචලිතවීම කණගාටුදායක තත්වයකි. තනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ආයතන ගණනාවකින් අනුමැතීන් ලබාගැනීමට මාස ගණනාවක් ගතවන ලිපිගොනු සංස්කෘතියක ශ්‍රී ලංකාව තවමත් සිරවී සිටීම ඊට තවත් සහසම්බන්ධතා දක්වන නිදසුනකි. මෙහිදී වියට්නාමය One-Stop Portals යටතේද සහ මැලේසියාව One-Stop Hub යටතේද ආයෝජකයාට අවශ්‍ය සේවාවන් බොහොමයක් කඩිනමින් ලබාදීමට කටයුතු සලසා තිබෙන ආකාරය අප විසින්ද දැන කියා ගතයුතු නවමු සංකල්පයකි.
කෙසේ වුවද ADB නවතම වාර්තාව අවධාරණය කරන පරිදි, මධ්‍යකාලීන ආර්ථික ස්ථාවරත්වය උදෙසා රාජ්‍ය ආයෝජන සහ ප්‍රතිසංස්කරණ කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීම රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය දෙයකි. එබැවින්, ණය සහ ආධාර මත යැපෙන සාම්ප්‍රදායික සංවර්ධන ආකෘතියෙන් මිදී ආයෝජන, නවෝත්පාදනය සහ අපනයන මත පදනම් වූ තරඟකාරී ආර්ථිකයක් ගොඩනැගීම අපගේ මූලික ජාතික ප්‍රමුඛතාව බවට පත්කරගත යුතුය. තවමත් ක්‍රියාත්මක වන ආනයන ආදේශන Import Substitution චින්තනය වෙනුවට අපනයන අභිමුඛ Export-oriented ව්‍යවසායකත්ව ආර්ථිකයක් කරා රට මෙහෙයවීම අත්‍යවශ්‍ය කටයුත්තකි. දුප්පත්කම තුරන් කිරීමට යැයි පවසමින් තවදුරටත් පවත්වාගෙන යන සාම්ප්‍රදායික සහනාධාර සංස්කෘතිය වෙනුවට, ජනතාව නිෂ්පාදන ක්‍රියාවලියට සහ ගෝලීය වටිනාකම් දාමයට Global Value Chains සම්බන්ධ කරවිය හැකි ව්‍යුහාත්මක පරිවර්තනයක් සිදුකිරීම ද කාලීන අවශ්‍යතාවකි.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ














