අඟුලාන මුහුදේ නාවිකයින් 11 දෙනෙකුගේ දිවි බේරාගැනීමට කැපවූ පොලිස් නිලධාරීන් නාවික හමුදාධිපතිගේ ඇගයීමට

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් පී 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව ආපදාවට ලක් වූ අවස්ථාවේදී, රළු මුහුදු තත්වය නොතකා කඩිනමින් මැදිහත් වී නාවික පුද්ගලයන් එකොළොස් දෙනෙකුගේ (11) ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ අඟුලාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (21) නාවික හමුදා මූලස්ථානයේදී ඇගයීමට ලක් කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඇගයීම සිදු කෙරුණු අතර, එහිදී බස්නාහිර පළාත (දකුණ) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර සහ අඟුලාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එල්.ඩබ්ලිව්. ඒස්. ජේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකු (10) වෙත ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කරනු ලැබීය.

මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී අදාළ පොලිස් නිලධාරීන් තම රාජකාරී සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, වෘත්තීයභාවයෙන් හා අසමසම නිර්භීතකමින් යුතුව දැක්වූ දායකත්වය නාවික හමුදාධිපතිවරයා විසින් ඉතා ගෞරවාන්විතව සිහිපත් කරන ලදී.

මෙම සිදුවීම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පවතින ශක්තිමත් අන්තර් ආයතනික සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය අවබෝධයේ සුවිශේෂී සලකුණක් බවද මෙහිදී අවධාරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website