ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතීන් සුරක්ෂිත කරමින් තිරසාර සහ හරිතමය අනාගතයක් උදෙසා පියවරක් ඉදිරියට තබමින්, මහජනතාවට සෘජුවම පරිසර අමාත්‍යාංශය හා සම්බන්ධ විය හැකි නව නිල WhatsApp සේවාව 070 250 950 9 යන දුරකථන අංකය ඔස්සේ නිල වශයෙන් හඳුන්වා දී ඇත.
“තිරසර ජෛව ගෝලයක් සදාහරිත ජීවිතයක්” යන තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන මෙම තාක්ෂණික සේවාව හරහා පාරිසරික ගැටලු පිළිබඳ විමසීම් (Inquire), නීතිවිරෝධී ක්‍රියා වාර්තා කිරීම් (Report) සහ පාරිසරික සංරක්ෂණ වැඩසටහන් සඳහා මහජන සහභාගීත්වය (Participate) සක්‍රීයව ලබාගැනීමත් ඊට කඩිනම් විසඳුම් ලබා දීමත් අපේක්ෂා කෙරේ.
විශේෂයෙන් ම, මෙම පණිවිඩ හුවමාරු ක්‍රියාවලියේදී කරුණු සහ සාක්ෂි සහිත ලිපිලේඛන, ඡායාරූප මෙන් ම නිල වාර්තා (Documents) වෙත ප්‍රමුඛත්වය ලබාදීමට අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇති අතර, එමඟින් පාරිසරික ගැටලුවලට වඩාත් නිවැරදි, විද්‍යාත්මක සහ කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවනු ඇත.
රජයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය වන්නේ පරිසර සංරක්ෂණය යනු හුදෙක් රාජ්‍ය ආයතනවලට පමණක් සීමා වූ වගකීමක් නොව, සක්‍රීය මහජන සහභාගීත්වය මත ගොඩනැඟිය යුත්තක් යන්නයි. මෙම WhatsApp අංකය හඳුන්වාදීම හරහා පරිපාලනමය ප්‍රවේශයන් සරල කරමින්, සාමාන්‍ය පුරවැසියා සහ රාජ්‍ය තන්ත්‍රය අතර පවතින දුරස්ථභාවය අවම කිරීමට පියවර ගෙන ඇත. ක්ෂේත්‍ර මට්ටමින් සිදුවන පාරිසරික හානීන් ක්ෂණිකව වාර්තා කිරීමටත්, පරිසර හිතකාමී නව අදහස් සහ ප්‍රතිපෝෂණ සෘජුවම බලධාරීන් වෙත යොමු කිරීමටත් මේ තුළින් අවකාශ සැලසේ. තාක්ෂණය සහ සිවිල් සමාජ වගකීම එකිනෙක යා කෙරෙන මෙම ප්‍රායෝගික වැඩපිළිවෙළ, ශ්‍රී ලංකාවේ පාරිසරික පාලන තන්ත්‍රය වඩාත් විනිවිදභාවයකින් සහ වගවීමකින් යුතුව ඉදිරියට රැගෙන යාමට ලැබුණු සන්නිවේදනමය ජයග්‍රහණයකි.
අපේ පරිසරය රැකගැනීම අප සැමගේ සාමූහික වගකීමක් වන බැවින්, පිරිසිදු, හරිතවත් සහ සෞඛ්‍යසම්පන්න ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ මෙම ජාතික මෙහෙවර සඳහා අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස පරිසර අමාත්‍යාංශය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.
ඔබගේ පාරිසරික ගැටලු, වාර්තා සහ යෝජනා ලිපි ලේඛනගත කර, 070 250 950 9 යන නිල WhatsApp අංකය වෙත පණිවිඩයක් (Message only) ලෙස යොමු කරන්න.















