වනඅලි ඝාතනවලට වැට බඳින්න ගල්ගමුව ප්‍රදේශයේ වනජීවී – STF ඒකාබද්ධ විශේෂ මෙහෙයුමක්

මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් අවි ආයුධ

පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ උපදෙස් හා නියෝග මත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ගල්ගමුව ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වනඅලි ඝාතනය සඳහා භාවිත වන හක්කපටස්, මදුව සහ බලින තුවක්කු වැනි නීතිවිරෝධී උගුල් හා උපකරණ සොයා ඉවත් කිරීමත්, ඒවා සවිකරන සහ භාවිත කරන පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමත් මෙහෙයුමේ ප්‍රධාන අරමුණ බව පරිසර අමාත්‍යවරයා පැවසුවේය.

මෙහෙයුම කණ්ඩායම් පහක් ලෙස ක්‍රියාත්මක වන අතර, වනජීවී නිලධාරීන් සමඟ STF සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව සහ මෙහෙයුම් කටයුතු සඳහා සහාය ලබාදෙති.

මෙහෙයුමේදී හක්කපටස් නිෂ්පාදනාගාරයක් හඳුනාගෙන ඇති අතර, සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම වනඅලි ඇතුළු වනසතුන් සඳහා උගුල් ඇටවීමට භාවිත කළ බවට සැක කෙරෙන උපකරණ සහ බඩු බාහිරාදිය විශාල ප්‍රමාණයක්ද සොයාගෙන ඇත. මුව හම්ද මේ අතර විය!

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ සොයාගත් උපකරණ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මකයි.

වනඅලි ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කරන බව ද පරිසර අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website