රට තුළ මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මතු වී ඇති බරපතළ සෞඛ්‍ය ගැටලුව වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සක්‍රීයව මැදිහත් වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ දැඩි අවධානය යොමු වී ඇති අතර, සෞඛ්‍ය අංශ හා සෙසු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් රටපුරා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක් මේ වන විටත් ආරම්භ කර තිබේ.
ඒ අනුව, පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසය සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල ස්ථාපිත පරිසර අංශවල නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් ද සමඟ එක්ව මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වන විටත් දියත් කර ඇත. මීට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI), අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව නිවාස, නිවාස සංකීර්ණ, පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන මෙන්ම ඉදිකිරීම් පරිශ්‍රයන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකය.
මේ සඳහා ඔබේ නිවස හෝ ආයතනය පරීක්ෂා කිරීමට පැමිණෙන පොලිස් නිලධාරීන්ට සහ සෞඛ්‍ය අංශවලට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. එමෙන්ම, ඩෙංගු මදුරුවන් බෝ විය හැකි බඳුන්, ටයර්, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ජලය රැඳෙන ස්ථාන නිතිපතා පිරිසිදු කරමින්, තමන් ජීවත් වන සහ සේවය කරන වටපිටාව අවදානමෙන් තොර කලාපයක් බවට පත් කර ගැනීම සෑම පුරවැසියෙකුගේම වගකීමකි.
නොසැලකිලිමත් ලෙස මදුරුවන් බෝවන ආකාරයෙන් පරිශ්‍රයන් පවත්වාගෙන යනු ලබන තැනැත්තන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262 වන වගන්තිය, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දැඩි නීතිමය පියවර ගැනීමට පොලිසිය පසුබට නොවේ. එවැනි පාර්ශ්වයන්ට මුලින්ම අවවාද කරනු ලබන අතර, නිතර නිතර සිදු කරන පරීක්ෂණවලදී ද වැරදි නිවැරදි කර නොගන්නා පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබේ. ගත වූ සතිය තුළ පමණක් මෙලෙස නොසැලකිලිමත්ව කටයුතු කළ පුද්ගලයන් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර ඇත.
ඩෙංගු යනු මාරාන්තික උවදුරකි. එය පාලනය කළ හැක්කේ අප සැමගේම සාමූහික වගකීමෙනි. එබැවින් මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත්, ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ ජීවිත ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීමටත් ශ්‍රී ලංකා පොලිසිය සහ රාජ්‍ය ආයතන සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සමස්ත මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.















