අපි කිසිසේත්ම ජනතාවට දුන්න පොරොන්දු කඩ කරන්නේ නැහැ – කෞශල්‍යා ආරියරත්න, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති

ජනමාධ්‍ය අමාත්‍යාංශය 2026 වර්ෂය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා, මේ සඳහා පත් කළ විශේෂඥ කමිටුව අදාළ වාර්තාව අමාත්‍යාංශයට භාර දී තිබෙනවා. ළඟදීම මේ වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පත අපි පසුගිය ජූනි 05 වැනිදා ගැසට් කළා. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපි කඩිනමින් පියවර ගන්නවා. මේ පනත ජනමාධ්‍ය වෘත්තිකයාගේ ගෞරවය සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ජනමාධ්‍ය සමාජය විසින් කාලයක් තිස්සේ ඉල්ලා සිටි දෙයක්. ඒ වගේම ස්වාධීන මාධ්‍ය කොමිෂමක් පිහිටුවීම සම්බන්ධයෙන් කාලයක් තිස්සේ ජනමාධ්‍ය සමාජයෙන්ම දැඩි ඉල්ලීමක් තිබෙනවා. මේ ඉල්ලීම ගැන සොයා බැලීම සඳහා අපි විද්වත් කමිටුවක් පත්කරලා තිබෙනවා. අපේ ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ තිබෙන්නේ ‘සහ නියාමනය’ කියන සංකල්පය. එහි අදහස වෙන්නේ රජය මැදිහත් වී මාධ්‍ය නියාමනය කිරීම වෙනුවට සමස්ත මාධ්‍ය සමාජය සහ රජය එකතු වෙලා මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් කටයුතු කරන ස්වාධීන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමයි. මෙම විශේෂඥ කමිටු වාර්තාව ලැබුණු පසු අදාළ පියවර ගන්න අපේක්ෂා කරනවා. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ට ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ දැමීමට අපි බලාපොරොත්තු වෙනවා. උසස් අධ්‍යාපනය පමණක් නොවෙයි, ජනමාධ්‍ය සම්බන්ධ වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට, භාෂා අධ්‍යාපනය ලබා ගැනීමට වගේම මූලික උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා හැදෑරීමට ශිෂ්‍යත්ව ලබාදීමට හැකිවන ආකාරයට එම වැඩපිළිවෙළ මේ වසරේ සිට පුළුල් කර තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩිපුර මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. මෙම වැඩසටහන්වලට අමතරව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව සමඟ තවත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම, පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධනය කිරීම හා සවිබල ගැන්වීම, පාසල් වල ජනමාධ්‍ය විෂය උගන්වන ගුරුවරුන් පුහුණු කිරීම ආදි වශයෙන් මූලික වැඩසටහන් රැසක් මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 2026 අයවැයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ශක්‍යතා වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 100ක් ලබා දී තිබෙනවා. ඉදිරියේ දී මෙම වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සම්බන්ධ සංවාදය ආරම්භ වුණේ අපේ ආණ්ඩුව බලයට පත්වීමට කලින්, විශේෂයෙන් මාධ්‍ය ප්‍රතිපත්තිය ඇතුළුව සංවාදය සිදු වුණේ කාලයකට පෙර සිටයි. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද ඇතුළු ජනමාධ්‍ය සංවිධානවලට මේ සංවාදයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දී තිබුණා. නමුත් ඔවුන් ස්වේච්ඡාවෙන් ඒ සංවාදයට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඔවුන් දැන් අදාළ පනත් කෙටුම්පතට විරෝධය දක්වනවා. ඒක ඔවුන්ගේ කැමැත්ත. මේ කිසිවක් අපි බලහත්කාරයෙන් කරන දේවල් නෙවෙයි. මේවා ජනමාධ්‍ය කර්මාන්තයේ යහපත, දියුණුව වෙනුවෙන් කරන දේවල්. ඒ වගේම ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියකට පවා මේ සංගම් විරුද්ධයි. නමුත් මේ වන විට ජනමාධ්‍ය කර්මාන්තය තුළ බරපතළ ගැටලු තිබෙනවා. මාධ්‍ය ආයතන වසා දමනවා, රැකියා අහිමි වෙනවා, බොහෝ ආයතනවල නියමිත පරිදි වැටුප් ගෙවන්නේ නැහැ, සේවක අර්ථසාධක ගෙවන්නේ නැහැ. මේ ප්‍රශ්නවලට ජනමාධ්‍ය සංගම් දක්වන ප්‍රතිචාරය කුමක් ද ?, ඔවුන් සතු විසඳුම කුමක් ද ?. ඔවුන් කියන්නේ දැනට තිබෙන නීති ප්‍රමාණවත් බවයි. ඔවුන් කියන ආකාරයට ප්‍රමාණවත් තරම් නීති තිබෙනවා නම් අපට මේ කිසිවක් ගැන කතා කරන්න දෙයක් නැහැ, ඒ වගේම මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නත් බැහැ.  ඒ වගේම තවත් වැදගත් දෙයක් පැහැදිලි කළ යුතුයි. මේ ආයතනය රජයේ පාලනයට යටත් ආයතනයක් නෙමෙයි, මේක ස්වාධීන ආයතනයක්. උදාහරණයක් ලෙස වරලත් ගණකාධිකරණ ආයතන වැනි ආයතන ව්‍යුහයක් තුළ තමයි වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය ක්‍රියාත්මක වෙන්නේ. මේ ආයතනය වෙනුවෙන් රජය වාර්ෂිකව මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමක් කරන්නේ නැහැ. මූලික ප්‍රාග්ධනය පමණයි රජය විසින් ලබා දෙන්නේ.

අපේ ස්ථාවරය තමයි, තිබෙන නීති ප්‍රමාණවත් නොවන නිසා තමයි මෙවැනි ඉල්ලීමක් ජනමාධ්‍ය සමාජයෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම අපේ දැක්ම තමයි ජනමාධ්‍ය කියන්නේ තවත් එක වෘත්තියක්. ජනමාධ්‍යවේදය, ජනමාධ්‍ය කර්මාන්තය කියන්නේ ගෞරවනීය වෘත්තියක්, ඒ ගෞරවය ඇති කිරීමට නම් ජනමාධ්‍ය වෘත්තියට අවශ්‍ය පහසුකම් සැලසීම, නීති සම්පාදනය කිරීම සහ එහි දියුණුවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම තමයි රජයේ වගකීම.

මේ චෝදනාවට පදනමක් නැහැ. එවැනි චෝදනාවක් කරනවා නම් මේ කියන පනත් කෙටුම්පත් දෙක සැසදීමක් කළ යුතුයි. නමුත් අපි සොයා බැලිය යුතු වන්නේ අදාළ පනතේ මූලික අරමුණ කුමක් ද යන්නයි, ඒක කෙටුම්පත් කළේ කවුද, කවදා ද යන්න ජනතාවට අදාළ නැහැ. වැදගත් වෙන්නේ මේ පනත් කෙටුම්පත හරහා සිදුවෙන්නේ කුමක් ද යන්න පමණයි. මේ පනත් කෙටුම්පතේ අරමුණ ගැන නිසි දැනුවත් වීමකින් තොරව සහ ඔවුන් සම්බන්ධ නොවූ දේකට පදනමකින් තොරව විරුද්ධ වීම අසාධාරණ බවයි මගේ අදහස.

මම හිතන ආකාරයට මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම යෝජිත ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් සභාවේ කාර්යයක් විය යුතුයි. නමුත් වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනයට පුළුවන් මාධ්‍ය ආචාරධර්ම සම්බන්ධයෙන් විධිමත් ලෙස ජනමාධ්‍යවේදීන්ව පුහුණු කිරීමට. ඒ වගේම මාධ්‍ය ආචාරධර්ම පිළිපැදීමට අකමැති ජනමාධ්‍යවේදීන් පිරිසකුත් සිටින බව අපි දන්නවා. ඔවුන්වත් මාධ්‍ය ආචාරධර්ම පිළිබඳව විධිමත් ලෙස දැනුවත් කර, පුහුණු කිරීම වරලත් මාධ්‍ය ආයතනයට කරන්න පුළුවන්. ඒ අනුව අදාළ මාධ්‍යවේදීන් ‘වරලත් මාධ්‍යවේදීන්’ ලෙස පුහුණු කරන්න, අදාළ තනතුරට ඔසවා තබන්න මේ ආයතනයට හැකියාවක් තිබෙනවා.

කිසිසේත්ම නැහැ. මාධ්‍ය නියාමනයක් මේ ආයතනයේ අරමුණු හෝ කාර්යභාරය තුළ නැහැ.

ස්වාධීන මාධ්‍ය කොමිෂම (ආයතනයේ නම තවමත් නිශ්චිත නැත) ස්ථාපිත කළ පසු පුවත්පත් මණ්ඩලයේ භූමිකාව අහෝසි වෙලා යයි. මෙපමණ කාලයක් පුවත්පත් මණ්ඩලය ඉටු කළේ සීමිත භූමිකාවක්, ඒ වගේම පුවත්පත් මණ්ඩලයේ භූමිකාව ගැන අපට දැඩි විවේචනයක් තිබුණා. නමුත් පුවත්පත් පැමිණිලි කොමිෂම, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අහෝසි කිරීමට රජයට හැකියාවක් නැහැ. ඒ ගැන ඔවුන්ම තීරණයක් ගත යුතුයි. ඒක ඉදිරියට පවත්වා ගෙන යනවා ද, නැද්ද කියන කාරණය ජනමාධ්‍ය සමාජය විසින් තීරණය කළ යුතුයි.

තොරතුරු කොමිෂමේ කොමසාරිස්වරුන්ගේ වැටුප ප්‍රමාණවත් නොවන බව අපි දිගටම නිරීක්ෂණය කළා. ඒ අනුව අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවලට සමානුපාතිකව එහි වැටුපත් ඉහළ දැමිය යුතු බව අපි පිළිගන්නවා, ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. තොරතුරු කොමිෂමට අදාළ නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා, ඒ අනුව ඉදිරි බඳවා ගැනීම් ඉදිරියේ දී අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තොරතුරු කොමිෂමට අවශ්‍ය සියලු පහසුකම් අපි ලබා දෙනවා. මෙහි දී තවත් වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි, තොරතුරු කොමිෂම ඩිජිටල්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ හරහා තොරතුරු කොමිෂමේ කටයුතු විනිවිධභාවයකින් සහ වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට අවස්ථාව සැලසෙනවා.

සමාජ මාධ්‍ය නියාමනය කියන්නේ සංකීර්ණ කටයුක්තක්. නමුත් අපි සමාජ මාධ්‍ය ලෙස දකින්නේ සහ විවේචනය කරන්නේ ෆේස්බුක්නේ. කෙසේ වෙතත් 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) ගැන අපට මුල සිටම විවේචනයක් සහ ස්ථාවරයක් තිබුණා. මේ පනත සංශෝධනය කිරීමට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් තිබෙනවා. මේ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදුවෙනවා, අපි එහි පාර්ශ්වකරුවෙක් ලෙස කටයුතු කරනවා.

අපි ජනතාවට දුන්න පොරොන්දු අතර මූලික පොරොන්දු කිහිපයක් තිබෙනවා. අපි ජනතාවට පොරොන්දු වුණා ආර්ථිකය ස්ථාවර කරනවා කියලා, ඒ පොරොන්දුව අපි අපේක්ෂා කළාටත් වඩා හොඳින් ඉටු කළා. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාව වැනි දැවැන්ත රටවල් පවා දැඩිව පීඩාවට පත් වෙද්දි අපට අපේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් ජනතාවට පීඩනයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. මේ නිසා විපක්ෂයේ බලාපොරොත්තු සහ සැලසුම්  බිඳ වැටී තිබෙනවා. ඒ වගේම දූෂණය, නාස්තිය පිටුදැකීමට අපි පියවර ගත්තා. ඒ හරහා තමයි මේ ආර්ථික ස්ථාවරත්වය ඇති වුණේ. ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම  ස්වභාවික ව්‍යසනය වන දිට්වා හමුවේ පවා නොසැලී සිටීමට අපට හැකි වුණේ අපි ඉතාම සාර්ථකව ආර්ථිකය කළමනාකරණය කළ නිසයි. ඒ අනුව අපි අපේක්ෂා කළාට වඩා ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව 2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ 5.1%ක ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපට හැකියාව ලැබුණා. මේ තත්ත්වය තුළ 7%ක ආර්ථික වර්ධනයක්  කරා යාමට අපි සැලසුම් කරනවා. ඒ වගේම හොරුන්ට දඬුවම් දෙනවා කියන එක අපි දුන්න ප්‍රධාන පොරොන්දුවක්. ඒ ගැන මම අලුතින් විස්තර කළ යුතු නැහැ. අපි දුන්න ඒ පොරොන්දුව කොතරම් සාර්ථකව ඉටු වෙනවාද යන්න මේ දිනවල විභාග වන නඩු දෙස බලන විට ජනතාවට පේනවා. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපි පියවර ගත්තා. ඒ අනුව පොලිසිය, අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිෂම සහ අධිකරණයට තමන්ගේ කාර්යභාරය ඉටු කරමින් සිටිනවා.

අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොදෙන බවට සහ රාජ්‍ය පාලනයට ජාතිවාදය යොදා නොගන්නා බවට. ජාතිවාදය අවියක් කර නොගෙන රට පාලනය කරන එකම ආණ්ඩුව බවට ජතික ජන බලවේගය ආණ්ඩුව පත්ව තිබෙනවා. මේ පොරොන්දු තුන මත පදනම්ව අපි අපේ කටයුතු කරගෙන යනවා. අපි කිසිසේත්ම ජනතාවට දුන්න පොරොන්දු කඩ කරන්නේ නැහැ, ජනමතයට පිටුපාන්නේ නැහැ.

ප්‍රජා ශක්ති කියන සංකල්පය ගැන නිවැරදි අවබෝධයක් නැති අය තමයි මෙවැනි උපහාස කතා කියන්නේ. ප්‍රජා ශක්ති කියන්නේ බිම් මට්ටමෙන් පටන් ගෙන ඉහළට යන සංවර්ධනයට. ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම අපේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධාන ඉලක්කයක්. ඒ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම සඳහා සහ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අරමුණු කර ගනිමින් තමයි ප්‍රජා ශක්ති වැඩසටහන ආරම්භ කළේ. ප්‍රජාතන්ත්‍රවාදය බිම් මට්ටම කරා ගෙන යනවා කියන සංකල්පය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා විපක්ෂයේ සහ ඇතැම් සමාජ මාධ්‍යවල කියන සිල්ලර විවේචන අපට අදාළම නැහැ. මේ වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක කිරීම පමණයි අපේ ඉලක්කය. මේ සිල්ලර විවේචනවලින් අපි දුර්මුඛ වෙන්නේ නැහැ. අපි අපේ ඉලක්කය කරා යනවා. ඒ ගැන අපට දැඩි විශ්වාසයක් තිබෙනවා.

මේ අයට කියන්න තියෙන්නේ අතීතය දෙස මොහොතක් බලන්න කියලා පමණයි. ඔබට එවිට මාධ්‍ය මර්දනයේ සැබෑ ස්වරූපය දැක ගන්න පුළුවන් වෙයි. සුදු වෑන්, අතුරුදන් කිරීම්, පැහැර ගැනීම්, පහරදීම්, බිය වැද්දීම් සහ අවසානයේ ඝාතනය කිරීම් වැනි සියලු ආකාරයේ මාධ්‍ය මර්දනයන් සිදු වුණේ ඈත අතීතයේ පමණක් නෙමෙයි අපි බලයට පත්වීමට ආසන්න කාලයේ පවා මේවා සිදු වුණා. මේ බිහිසුණු මාධ්‍ය මර්දනයට බියෙන් මාධ්‍යවේදීන් විශාල පිරිසක් රට හැරදා ගියා. මේ බිහිසුණු අතීතය කාටවත් අමතක වෙන්න බැහැ. මම පැහැදිලිව කියනවා අපේ ආණ්ඩුව තරම් සමාජ මාධ්‍යවලට නිදහසක් වෙන කිසිම ආණ්ඩුවක් දීලා නැහැ. ඒ වගේම සමහර මාධ්‍ය සංවිධානවලට මාධ්‍ය මර්දනයකින් තොරව පැවැත්මක් නැහැ. ඔවුන් තමයි මේ බොරුව වපුරන්නේ.

පසුගිය කාලය පුරාම මාධ්‍යවේදීන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩු විසින් නඩත්තු කළා, වරප්‍රසාද, ලාභ ප්‍රයෝජන දුන්නා. ඇතැම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ප්‍රාදේශීය දේශපාලනඥයින් විසින් තමයි නඩත්ත කළේ. නමුත් අපි කිසිම ආකාරයකින් මාධ්‍යවේදීන් නඩත්තු කරන්නේ නැහැ. නමුත් අපි මාධ්‍යවේදීන් සමඟ ඉතාම සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන යනවා. මේ පසුබිම තුළ අපි මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලුවලට තිරසර විසඳුම් ලබා දෙනවා. අපි ජනමාධ්‍ය සතුරෙකු ලෙස සලකන්නේ නැහැ. නමුත් අපි ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා, රජය විවේචනය කරන්න, නමුත් ඒවා සත්‍ය හා සාධාරණ ලෙස කරන්න, ආචාරධර්ම ගැන සැලකිලිමත් වෙන්න. නීතියට ඉහළින් කිසිවෙක් නැති බව මතක තබා ගන්න. තමන් නීතියට ඉහළින් සිටින බව කල්පනා කරන ‘සමහර’ මාධ්‍ය ආයතන තිබෙනවා. ඒ ආයතනවලට කියන්න තියෙන්නේ ඔබ කියලු දෙනාම රටේ පොදු නීතියට යටත් බවයි. ඔබ අසත්‍ය තොරතුරු වාර්තා කළොත්, ආචාරධර්ම කඩකරමින් කටයුතු කළොත් ජනතාව ඉතාම ඉක්මින් ඔබව ප්‍රතික්ෂේප කරාවි. ජනමාධ්‍ය අපේ සතුරෙක් නෙමෙයි, එය ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය බලවේගයක් ලෙස අපි සලකනවා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website