රථවාහන වැරදි සම්බන්ධයෙන් CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින්, රියදුරන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිල නිවේදනය පහත පළ වේ.
රථවාහන වැරදි සම්බන්ධයෙන් CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින්, රියදුරන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.
වංචාව සිදුවන ආකාරය:
+639692161720 යන විදේශීය අංකයෙන් SMS හෝ WhatsApp හරහා ඔබට පණිවිඩයක් ලැබෙනු ඇත. එහි දැක්වෙන්නේ ඔබ විසින් සිදුකරන ලද රථවාහන වරදක් CCTV මගින් නිරීක්ෂණය වී ඇති බවයි. අදාල දඩ මුදල ගෙවීම සඳහා පණිවිඩය සමඟ https://thecourierguy.eu.cc/lk නැමැති වෙබ් අඩවි සබැඳියක් (Link) ලබා දී ඇත.මෙම වෙබ් අඩවිය රජයේ නිල ‘Gov Pay’ වෙබ් අඩවියට සමාන වන ලෙස ඉතා සූක්ෂ්මව නිර්මාණය කර ඇත. එහි ඔබේ වාහන අංකය ඇතුළත් කළ පසු, ඔබ ව්‍යාජ ලෙස සිදුකළ බව කියන රථවාහන වැරදි වාර්තාවක් පවා පෙන්වනු ලබයි. දඩ මුදල ගෙවීම සඳහා ඉදිරියට යන විට, ඔබගේ බැංකු කාඩ්පත් (Credit/Debit Card) තොරතුරු ඇතුළත් කිරීමට සලස්වා, එමගින් ඔබගේ ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීම මෙහි අවසාන අරමුණයි.
නොදන්නා සබැඳි (Links) ක්ලික් නොකරන්න: කිසිම විටක SMS හෝ WhatsApp පණිවිඩ හරහා ලැබෙන සැකකටයුතු සබැඳි (Links) මත ක්ලික් කර ඔබගේ පෞද්ගලික හෝ බැංකු තොරතුරු ඇතුළත් නොකරන්න.
නිල අඩවි පමණක් භාවිතා කරන්න: රජයේ ගෙවීම් සඳහා නිතරම රාජ්‍ය නිල වෙබ් අඩවි (.gov.lk) පමණක් භාවිතා කිරීමට වගබලා ගන්න.
විදේශීය අංක පිළිබඳව සැලකිලිමත් වන්න: ලංකාවේ රථවාහන දඩ මුදල් හෝ නිවේදන කිසිවිටකත් විදේශීය දුරකථන අංක මගින් (උදා: +63…) ඔබට එවනු නොලැබේ.
ඔබේ බැංකු කාඩ්පතේ රහස් අංක (PIN), OTP කේත හෝ කාඩ්පත පිටුපස ඇති CVV අංකය කිසිදු බාහිර පාර්ශවයකට ලබානොදෙන්න.
















