හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම රජයේ අපේක්ෂාවයි – කැබිනට් ප්‍රකාශක

හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය ජනතාවට ලබාදීම රජයේ බලාපොරොත්තුව බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යවරයා පැවසුවේ පළාත් සභා මැතිතිවරණ පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනවල ගැටලුක් නොමැති බවයි.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය.

ජනමාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් නලින්ද ජයතිස්ස මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළ වේ.

“රජයේ බලාපොරොත්තුව සහ ඉලක්කය හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි. මොකද මේ ආණ්ඩුව මාස අටක් තුළ මැතිවරණ දෙකක් පවත්වපු ආණ්ඩුවක්. 2024 සැප්තැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් අපට බලය ලැබුණ පස්සේ නොවැම්බර් මාසයේ මහ මැතිවරණයත් 2025 මැයි මාසයේ දී පළාත් පාලන මැතිවරණයත් තිබ්බා.

2018 තිබුණ පළාත් පාලන ආයතනවල කාලය අවුරුදු හතරකින් පසු 2022 දී අවසන් වුණාම පනත අනුව ඇමතිවරයාගේ බලතල පාවිච්චි කරලා තව අවුරුද්දකින් දීර්ඝ කරගත්තා. ඊට පස්සේ ජනාධිපතිවරයා කිව්වා, ඡන්දේ තියන්න සල්ලි නැහැ, සල්ලි තිබුණත් ඡන්දයක් නැහැ’ කියලා ඡන්දය නොපවත්වා හිටියා. ඒ ඡන්දයත් අපි 2025 මැයි මාසයේ තිබ්බා.

ඒ නිසා අපේ බලාපොරොත්තුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියටම ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරමින් මේ පළාත් සභා මැතිවරණ ඉක්මනට පැවැත්වීමයි.

පළාත් පාලන මැතිවරණය සමඟ හෝ ඊට කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබ්බා නම් හොඳයි. ප්‍රතිපාදනවල ප්‍රශ්නයක් නැහැ. මුදල් වෙන්කරලා තියෙන්නේ. මුදල් වෙන් නොකළත් සාමාන්‍යයෙන් පරිපූරක ඇස්තමේන්තුවකින් වුණත් ඡන්දය සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්න පුළුවන්.

නමුත් ගැටලුව වන්නේ, රජයේ බලාපොරොත්තුව ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම වුණත් ඒකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනවල ගැටලුවක් ති‌බෙනවා. ඒක නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ නීතිමය ප්‍රතිපාදන සලසා දුන්නොත් අපට හැකි ඉක්මනට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබේවි.

පාර්ලිමේන්තුව අවශ්‍ය නීති වෙන්කම් කරලා දෙනවා නම් අපට පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්. දැන් ‘පැවති නීතියක්’ කියලා එකක් නැහැ. ඒ නීති දැන් අහෝසි වෙලා. මේ වන විට පාර්ලිමේන්තුවේ අංග සම්පූර්ණ ලෙස සම්මත වුණ  නීතියක් නැහැ, ඒ නීති මත පදනම් වෙලා ඡන්දයක් තියන්න බැහැ. ඒ අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමටයි මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ. ඒ කටයුතු අවසන් වුණ ගමන් ඡන්දය තියන්න පුළුවන්.

මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන කෙනෙකුට යම් යම් අනුමාන තියෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් මේ අවුරුද්දේ ඡන්දය තියන්න පුළුවන් කියලා. තවත් කෙනෙක් කියන්න පුළුවන් ඒක කරන්න බැහැ කියලා. නමුත් අපට කියන්න බැහැ මොන මාසයේ ද ඡන්දය තියන්නේ කියලා. හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය ජනතාවට ලබාදීම තමයි රජයේ බලාපොරොත්තුව”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website