ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් ‘ගම්පහ ඔස්මන්’ අත්අඩංගුවට

2025.02.19 දින කොළඹ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර සිටි සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩිතබා ඝාතනය කළ අපරාධය සම්බන්ධව විමර්ශන පවත්වන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය, එම සිද්ධියට අධාර අනුබල දුන් සැකකරුවෙකු ලෙස ගම්පහ ඔස්මන් නම් තැනැත්තා ඊයේ (13) රාත්‍රියේ ගම්පහ පොලිස් වසමේ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගම්පහ ඔස්මන් නැමැති සැකකරු විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව එම ඝාතනය සැලසුම් කර තිබේ.

එමෙන්ම ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීම හා අපරාධය සිදුකිරීම සඳහා අවශ්‍ය ගිනි අවිය ලබා දීම, මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යන වැරදි සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බලපත්‍රයක් නොමැතිව විදේශ රටක නිෂ්පාදිත රීපීටර් වර්ගයේ ගිනි අවියක්, එම ජීව පතරොම් 10 ක් හා පතරොම් ගැබ් 02 ක්ද සැකකරු සන්තකයේ තිබී ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සිද්ධීය සම්බන්ධව හා ආධාර අනුබලදුන් සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website