ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය පුරා පැතිර ගිය වසංගතයකින් පසු නීපා වෛරසය රට පුරා පැතිරීම සීමා කිරීමට බලධාරීහු දැඩි වෙහෙසක් දරමින් සිටිති.
මෙම මස මුලදී සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පුද්ගලයින් 110ක් පමණ නිරෝධායනයට යොමු කර ඇත. ඔවුන් වෛරසය ආසාදිත බවට තහවුරු කරන ලද රෝගීන් සමග සම්බන්ධතා පවත්වා තිබූ නමුත් පසුව කළ පරීක්ෂා කිරීමේදී ඔවුන් ආසාදිතයින් නොවන බව තහවුරු වී තිබේ.
බොහෝවිට මාරාන්තික වන වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යාමේ හැකියාවක් පවතින අතර ඒ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දැනට එන්නතක් හෝ වෙනත් ඖෂධයක් නොමැත. ගෝලීය වසංගත තත්ත්වයක් ඇති වීමට පවතින හැකියාව හේතුවෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ඉබෝලා, සිකා සහ කොවිඩ්-19 සමග පර්යේෂණ සඳහා ප්‍රමුඛ රෝගයක් ලෙස ලැයිස්තුගත කර ඇත.
නීපා වෛරසය පැතිරෙන්නේ කෙසේ ද?
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, නීපා වෛරසය යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යන “සත්ත්වජනිත රෝගයක්” වන අතර, මෙය ඌරන් සහ වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතී.
එමෙන් ම, දූෂිත ආහාර මගින් සහ ආසාදිත පුද්ගලයෙකු සමග ඍජු සම්බන්ධතා පැවැත්වීම මගින් ද මෙය පැතිර යා හැක. ආසියාවේ ඇතැම් ප්‍රදේශවලින්, විශේෂයෙන් බංග්ලාදේශය සහ ඉන්දියාව තුළ සෑම වසරක ම පාහේ මෙම වසංගත තත්ත්වයන් වාර්තා වේ.
මීට පෙර වාර්තා වූ බොහෝ ආසාදන සඳහා ප්‍රධාන හේතුව වූයේ, වෛරසය ආසාදිත වවුලන්ගේ මුත්‍රා හෝ කෙළවලින් දූෂිත වූ පලතුරු හෝ පලතුරු නිෂ්පාදන පරිභෝජනය කිරීම ය.
රෝග ලක්ෂණ මොනවා ද?
වෛරසය මිනිසුන්ට ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන උග්‍ර ශ්වසන ආසාදන (මෘදු, දරුණු) සහ මාරාන්තික එන්සෙෆලයිටිස් (මොළය ඉදිමීම) දක්වා විහිදේ. ආසාදිත පුද්ගලයින් බොහෝවිට පළමුව උණ, හිසරදය, මයිල්ජියා (මාංශ පේශි වේදනාව), වමනය සහ උගුරේ වේදනාව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
ඉන් අනතුරුව කරකැවිල්ල, නිදිබර ගතිය, සිහිමද ස්වභාවය සහ උග්‍ර එන්සෆලයිටිස් තත්ත්වයක් පෙන්නුම් කරන ස්නායු රෝග ලක්ෂණ ඇති විය හැක.
ඇතැම් පුද්ගලයින්ට අසාමාන්‍ය නියුමෝනියාව සහ උග්‍ර ශ්වසන අපහසුතා ඇතුළු දරුණු ශ්වසන ගැටලු ද මතුවීමේ හැකියාව පවතී. මොළයේ දැවිල්ල ඇති කරන තත්ත්වයක් වන එන්සෆලයිටිස් සහ දරුණු අවස්ථාවලදී අපස්මාරය තත්ත්වයන් ඇති වන අතර පැය 24 සිට 48 දක්වා කාලය තුළ කෝමා තත්ත්වයට පත්විය හැකි ය.
ආසාදනය වීමට ගත වන කාලය ( වෛරසයට නිරාවරණය වීමේ සිට රෝග ලක්ෂණ පහළවීම දක්වා) දින 4 සිට 14 දක්වා යැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් දින 45ක් තරම් දිගු ආසාදන කාලයක් ද වාර්තා වී ඇත.
නීපා වෛරසය ආසාදිතවූවන්ගෙන් 75%ක් දක්වා මිය ගොස් තිබේ.
මූලාශ්‍රය – bbc.com / sinhala















