චීනය සහ රුසියාව ඉරානයට “කිසිසේත්ම උදව් කරන” බව තමා විශ්වාස නොකරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ අතර, මොස්කව් සහ බීජිනය ටෙහෙරානයට ඉඩ දුන්නොත් “අහිමි වීමට බොහෝ දේ” ඇති බවට අනතුරු ඇඟවීය.
චීනය සහ රුසියාව ඉරානයට උදව් කරන බවට ඔහුගේ විවේචකයින් සහ විරුද්ධවාදීන් පළ කළ අදහස් තමා දුටු බව ට්‍රම්ප් අද (13) Truth Social හි ලිවීය.
“ඔවුන් එසේ නම්, එය ඉතා අවදානම් වැඩක්, නමුත් මම විශ්වාස කරන්නේ නැහැ ඔවුන් එසේ කරන බව. යම් කිසි ලෙසකින් ඔවුන් එසේ කරන්නේ නම් ඔවුන්ට අහිමි වීමට බොහෝ දේ ඇත. ඔවුන් ඉතා ඉක්මනින් ඒ ගැන දැන ගනු ඇත” ට්‍රම්ප් වැඩි දුරටත් පැවසුවේය.
පසුගිය ජූනි මාසයේ ද ජනපති ට්‍රම්ප් මේ ආකාරයෙන්ම රුසියාවට සහ චීනයට අනතුරු ඇඟවීය.
ඉරාන යුද්ධයේදී චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් “මධ්‍යස්ථ” ලෙස ට්‍රම්ප් මීට පෙර විස්තර කර තිබුණි.
මොස්කව් සහ බීජිං ටෙහෙරානය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යයි. ඉරාන යුද්ධය මැද පෙරදිග න්‍යෂ්ටික අවි තරඟයකට තුඩු දිය හැකි බව රුසියාව පවසා තිබේ. ටෙහෙරානයට වොෂින්ටනය එල්ල කළ ප්‍රහාර ඉරානයේ ස්වෛරීභාවය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස බීජිං හෙළා දැක තිබේ.
පසුගිය මාසයේ චීන නායකයා වොෂින්ටනයට ගිය අවස්ථාවේදී ඉරානයට සහාය ලබා දීමට එරෙහිව ට්‍රම්ප් ෂීට අනතුරු ඇඟවූ අතර, චීනය එසේ නොකරන බවට සහතිකයක් ලැබුණු බව චීනයේ ඇමරිකානු තානාපතිවරයා ඒ අවස්ථාවේ පැවසීය.
චීනය ඉරානයට උරහිසෙන් එල්ල කරන ගුවන් ආරක්ෂක මිසයිල විදින යන්ත්‍ර සපයා ඇති බවත්, චීනයේ සහාය ඇතිව ටෙහෙරානය තම තෙල් සඳහා සම්බාධක මග හැරීමට ක්‍රම සොයාගෙන ඇති බවත් වාර්තා වෙමින් තිබිය දී මෙම අනතුරු ඇඟවීම නිකුත් විය.
ජූලි මාසයේදී ඇමරිකානු හමුදා භටයින් තිදෙනෙකු ඝාතනය කරමින් එල්ල වූ ප්‍රහාරයකට පෙර, ඉරානය ජෝර්දානයේ කඳවුරක චන්ද්‍රිකා ඡායාරූප චීන ආයතනවලින් ලබා ගත් බවට පළ වූ වාර්තාවක් සැප්තැම්බර් මාසයේදී ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.
මූලාශ්‍රය: රොයිටර්
















