XIV වන ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් ඇති බවට හඳුනාගෙන ඇති බවත් උන්වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටස ඉවත් කිරීම සඳහා සිදු කළ ශල්යකර්මය සාර්ථක වී ඇති බවත් වතිකානය අද (14) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ලියෝ පාප් වහන්සේ ඊයේ (13) රෝමයේ ජෙමෙලී රෝහලේදී විනාඩි 90ක සැත්කමකට භාජනය වූ අතර, ඉන් අනතුරුව එතුමාට පෙනහළු ග්රන්ථිමය ශෛල පිළිකා (lung adenocarcinoma) තත්ත්වයක් ඇති බව හඳුනා ගෙන ඇත.
“ශල්යකර්මය සාර්ථක වූ අතර කිසිදු සංකූලතාවක් ඇති නොවීය. ශල්යකර්මයෙන් පසු පාප් වහන්සේ සාමාන්ය පරිදි අවදි වූ අතර, කෙටි කාලයක් නිරීක්ෂණයට ලක්වීමෙන් අනතුරුව තම කාමරය වෙත ආපසු පැමිණියා” වතිකානුව වැඩිදුරටත් පැවසීය.
වතිකානය විසින් “සාමාන්ය වෛද්ය පරීක්ෂණ” ලෙස හඳුන්වා ඇති පරීක්ෂණ අතරතුරදී මෙම ගැටිත්ත මුලින් ම හඳුනා ගෙන ඇත. පාප් වහන්සේ සතියක පමණ කාලයක් රෝහල්ගතව සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පාප් වහන්සේ දැක ගැනීමේ අපේක්ෂාවෙන් විශාල ජනකායක් රෝහලෙන් පිටත පැය ගණනාවක් බලා සිටින බව විදෙස් මාධ්ය පැවසුවේය.
















