2027 අයවැයට විරෝධය පා හෙට දිවයින පුරා වෘත්තීය සමිති විරෝධතා රැසක්

2027 අයවැය යෝජනාවලට එරෙහිව හෙට සිට විරෝධතා දියත් කිරීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද තීරණය කර තිබෙන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා පැවසුවේය. ඔහු පැවසුවේ සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට රට පුරා පැවැත්වෙන කළු විරෝධතාවයකට එක්වන බවයි.

මේ සියලු ඉල්ලීම් දිනා ගැනීම සඳහා, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය සහ රාජ්‍ය සේවය නොවැම්බර් 23 වන දින රටපුරා පැවැත්වෙන විරෝධතාවයට එක්වනු ඇති බව කී සඳරුවන් මහතා විරෝධතා කාලය තුළ ඔවුන් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරනු ඇති බව ද කීවේය.

“අපේ විරෝධතා ව්‍යාපාරයට රජය දක්වන ප්‍රතිචාරය අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන සතියේ වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකියි. ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම්වලට රජය ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් නොවැම්බර් 30 වන දින වන විට රට පුරා පාසල් වසා දැමිය හැකියි”

මේ අතර, ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ රට පුරා සෞඛ්‍ය අංශ සේවකයින් ද හෙට දින දිවයින පුරා රෝහල් සහ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට නියමිත බවයි.

“රාජ්‍ය අංශයේ සේවකයින් සහ කම්කරු පන්තිය විසින් නොවැම්බර් 23 වන දින කැඳවන ලද රටපුරා විරෝධතාවයට එක්වීමට රට පුරා සියලුම රෝහල්වල රෝහල් සහායක කාර්ය මණ්ඩලය එකඟ වී තිබෙනවා. ඒ අනුව, රජයට අපගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා අපි හෙට රට පුරා රෝහල් සහ ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වනවා. නොවැම්බර් 30 වන දින එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට ද අපි එකඟතාවකට පැමිණ තිබෙනවා. රෝහල් සහායක කාර්ය මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති මෙම ක්‍රියාමාර්ගයට එක් කර ඇති අතර, රජය හැර අනෙකුත් සියලුම පාර්ශවයන් යෝජිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාවය ප්‍රකාශ කර තිබෙනවා.” පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේය.

හෙට පැවැත්වීමට නියමිත විරෝධතාවයට ද තම සංවිධානය සහාය දක්වන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ (WSC) සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසීය. ඉදිරි සති දෙක තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website