උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ගැටුම් පැවති සමයේ සහ ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් හෝ භාර වූ පුද්ගලයන් 12,196 දෙනෙකු පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ උපදේශන, යෝගා සහ ආධ්‍යාත්මික වැඩසටහන්, මූලික අධ්‍යාපන හා භාෂා පුහුණු වැඩසටහන් මෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා යොමු කිරීමේ වැඩසටහන් මෙන්ම චිත්‍ර, සංගීතය, නාට්‍ය හා රංග කලාව ඇතුළත් සෞන්දර්ය වැඩසටහන්, රියදුරු පුහුණුව සහ ක්‍රීඩා වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දී ඇති බවත් අතර, එම පුහුණුවට අදාළ උපකරණ සහ වෙනත් ආධාර ද ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම, ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ණය මුදල්, නිවාස, මහන මැෂින්, ධීවර දැල්, පාපැදි, ජල පොම්ප, වඩු උපකරණ, සැකසුම් උපකරණ, කෘෂිකාර්මික උපකරණ, පශු සම්පත් සහ ත්‍රිරෝද රථ ඇතුළු ආධාර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සභාගත කළ වාර්තාවේ සඳහන් වේ.














