ශ්‍රී ලංකාව සතුව තිබූ තරගයේ වාසිය අවසන් – පළමු ඉණිමේ අවසන් කඩුළු 6ම ලකුණු 42කදී බිඳ වැටෙයි

පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (12) ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ සාකිබ් ඛාන් ප්‍රමුඛ පාකිස්තානු වේග පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව සතුව තිබූ තරගයේ වාසිය යළිත් සම තත්ත්වයට ගෙන ඒමට සමත්වූහ.

දිනය ආරම්භයේදී කඩුලු 4කට ලකුණු 404ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ පළමු ඉනිමේ ලකුණු 434ට වඩා ලකුණු 30ක් පසුපසින් සිටියේ කඩුල්ලේ රැඳී සිටි ශතකලාභීන් දෙදෙනා වූ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබාගෙනය.

උදෑසන ක්‍රියාත්මක වූ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු හය ලකුණු 42ක් තුළ බිඳ වැටුණි. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සාකිබ් ඛාන් නොකඩවා යැවූ පන්දු වාර අටකදී ලකුණු 25කට කඩුලු පහක් දවා ගනිමින් තරගයේ පාලනය යළි සිය කණ්ඩායම දෙසට හරවා ගැනීමට සමත් විය.

වළාකුළු සහිත කාලගුණයත්, පන්දුව දෙපසට දෝලනය වීමට සහය දුන් තණතීරුවත් මනාව ප්‍රයෝජනයට ගත් සාකිබ් ඛාන්, දිනයේ පළමු පන්දුවාරයේදීම ධනංජය ද සිල්වාගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරණ බලඇණියට පීඩනයක් එල්ල කළේය. පෙර දිනයේ නොදැවී ලකුණු 167ක් ලබා සිටි ධනංජයට සිව්වැනි දිනයේදී සිය ලකුණු සංඛ්‍යාවට කිසිදු ලකුණක් එක්කර ගැනීමට අවස්ථාවක් නොලැබිණි. අනතුරුව නොදැවී ලකුණු 117ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්ටද තවත් එක් ලකුණු දෙකක් පමණක් එක්කර ගැනීමට හැකි වූ අතර, සාකිබ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ගාසි ගෝරි අතට උඩපන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියේය.

වමත් පිතිකරුවන්ට එරෙහිවද එකසේ සාර්ථක වූ සාකිබ්, සෝනල් දිනූෂ ලකුණු 20කට දවා ගනිමින් සිය මංගල ටෙස්ට් ඉනිමේදීම කඩුලු පහේ සීමාව පසු කළේය. ඉන් අනතුරුව අසිත ප්‍රනාන්දු ද පිටුපස රැක සිටි ක්‍රීඩකයා අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර, ලහිරු කුමාර කඩුල්ල ඉදිරියේ දවා ගැනීමට සාකිබ් සමත් විය.

අනතුරුව ශ්‍රී ලංකා පිතිකරණයේ බිඳවැටීම වේගවත් වූ අතර, අවසන් කඩුලු හයම ලකුණු 42ක් ඇතුළත බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 446කට සීමා විය. සිය මංගල ටෙස්ට් තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සාකිබ් ඛාන් ලකුණු 130කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

සාකිබ් ඛාන්ගේ පන්දු යැවීමේ දක්ෂතාව තවත් කැපී පෙනුණේ ඔහු දවාගත් කඩුලු හතෙන් බහුතරයක් කඩුල්ල පිටුපස සහ ස්ලිප් කලාපයේ උඩපන්දු බවට පත්වීම හේතුවෙනි. එම උඩපන්දු හතරක්ම රැකගැනීමට කඩුලු රකින ක්‍රීඩක ගාසි ගෝරි සමත් විය.

ඒ අනුව සාකිබ් ඛාන් ලකුණු 130කට කඩුලු 7ක් දවා ගනිමින් සිය මංගල ටෙස්ට් ඉනිමේදී පාකිස්තාන පන්දු යවන්නකු වාර්තා කළ සිව්වැනි හොඳම පන්දු යැවීම සටහන් කළේය. මීට පෙර මොහොමඩ් සහීඩ්, මොහොමඩ් නසීර් සහ අබ්රාර් අහමඩ් ද සිය මංගල ටෙස්ට් ඉනිමේදී කඩුලු හත බැගින් දවාගෙන තිබුණද, ඔවුන් ඒ සඳහා සාකිබ්ට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා දී තිබිණි.

ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 12ක සුළු වාසියක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවද, දෙවැනි ඉනිම ආරම්භ කළ පාකිස්තාන පිතිකරුවෝ දිනය අවසන් වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 57ක් රැස්කරගෙන සිටියහ.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් සිව්වැනි දිනයේ ක්‍රීඩාව කලින් අවසන් කිරීමට සිදුවූ අතර, ඒ වන විට පාකිස්තානය කඩුලු නවයක් අතැතිව ලකුණු 45ක ඉදිරියක් ගොඩනගාගෙන සිටියේය.

පාකිස්තානය පළමු ඉනිම පන්දුවාර 106.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 434 යි – අසාන් අවයිස් 30, ටයියාබ් අරීෆ් 57, මොහොමඩ් තහා 51, බාබර් අසාම් 50, සෞද් ශඛීල් 93, සල්මන් අඝා 16, ගාසී ඝෝරී 48, අර්ෆට් මින්හාස් 52, රසාමුල්ලා 10, අසිත ප්‍රනාන්දු 107/3, ඩිල්ෂාන් මදුශංක 108/3, මිලාන් රත්නායක 72/1, සොනාල් දිනූෂ 23/1, ළහිරු කුමාර 104/1)


ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 117.2 කදී ලකුණු 446 යි – ළහිරු උදාර 42, පසිඳු සූරියබණ්ඩාර 00, දිනේෂ් චන්දිමාල් 01, කමිඳු මෙන්ඩිස් 58, ධනංජය ද සිල්වා 167, කුසල් මෙන්ඩිස් 119, සොනාල් දිනූෂ 20, මිලාන් රත්නායක 12, ළහිරු කුමාර 00, අසිත ප්‍රනාන්දු 04, ඩිල්ෂාන් මදුශංක 00, සඛීබ් ඛාන් 130/7, මොහොමඩ් අබ්බාස් 68/2, රාසාවුල්ලා 140/1)


පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 21.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 57 යි – අසාන් අවයිස් 22, ටයියාබ් අරීෆ් 11, මොහොමඩ් ටහා 24, අසිත ප්‍රනාන්දු 10/1)

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website