කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් උපදෙස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට සමගාමීව දිවයිනේ සෙසු අභ්‍යන්තර ගුවන් තොටුපළ ද අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට අදාළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට සමගාමීව මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, කටුනායක ගුවන් තොටුපළ ඇතුළු දිවයිනේ සෙසු ගුවන් තොටුපළවල මගී ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය මෙන්ම ගුවන් මගීන්ට වඩාත් පහසුකම් සැලසෙන අයුරින් ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website