පාර්ලිමේන්තු කාරක සභා සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු මාලාවේදී ඉදිරිපත් වූ තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු කාරක සභා වෙත ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ඒ අනුව, අදාළ සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමකදී මේ පිළිබඳව අවධානය යොමු විය.

විවෘත පාර්ලිමේන්තු සංකල්පය ප්‍රවර්ධනය කිරීම සහ පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තරුණ ප්‍රජාවගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු ගම්පහ, මඩකලපුව සහ මහනුවර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පසුගිය කාලයේදී පැවැත්විණි.

එම වැඩමුළුවලදී තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලද පොදු ගැටලු, අදහස් හා ප්‍රතිපත්තිමය යෝජනා පිළිබඳව අදාළ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී වූ තරුණ නියෝජිතයෝ කරුණු ඉදිරිපත් කළහ.

එහිදී, තරුණ ප්‍රජාව විසින් හඳුනාගනු ලබන ගැටලු සහ ඒවාට අදාළ විසඳුම් යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, අදාළ විෂයයන් සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධ වී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කිරීම තුළින් ජනතා සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.

මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සහ “Voice to Policy” වැඩමුළු මාලාව සඳහා සහයෝගය ලබා දෙන CII (Coalition for Inclusive Impact) ආයතනයේ සහ NDI (National democratic Institute) ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website