තුර්කි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය සමඟ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය නිල තුර්කි සංචාරයේ අතරතුර අන්කාරා නුවරදී අද දින(27) තුර්කි ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, තානාපති ඒ. බෙරිස් (H.E. Ambassador A. Berris Ekinci) මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආර්ථික සබඳතා, විදේශ රැකියා, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ ආරක්ෂක සහයෝගීතාව ඇතුළු දෙරටටම වැදගත් වන ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා පුළුල් කිරීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ (Ceylon Tea) ඇතුළු ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා තුර්කි වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ අවස්ථා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා තුර්කි රජයේ හවුල්කාරිත්වයන් පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

කෘෂිකාර්මික සහයෝගීතාව ද සාකච්ඡාවල ප්‍රමුඛ අවධානයට ලක් වූ අතර, කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරිණි. නවීන කෘෂිකාර්මික තාක්ෂණය, පර්යේෂණ, දැනුම හුවමාරු කර ගැනීම, ධාරිතා සංවර්ධනය, කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

ගුවන් සේවා ගිවිසුම යටතේ ගුවන් සම්බන්ධතා ශක්තිමත් කිරීම, පුහුණු හා නිපුණතා සහිත ශ්‍රී ලාංකිකයන් සඳහා සුදුසු රැකියා අවස්ථා හඳුනා ගැනීම සහ සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරු හා ආයතනික හවුල්කාරිත්වයන් තුළින් දෙරටේ ජනතාව අතර සබඳතා පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දේශගුණික විපර්යාස, තිරසර සංවර්ධනය, ආපදා සූදානම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම ද සාකච්ඡාවට බඳුන් වූ අතර, මතුවෙමින් පවතින ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමේ සබඳතා, ආරක්ෂක සහයෝගීතාව සහ කලාපීය හා බහුපාර්ශ්වික සංසදවල සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. දෙරට අතර පවතින මිත්‍රශීලී සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

තුර්කිය සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන දිගුකාලීන මිත්‍රත්වය සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කළ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මෙම සාකච්ඡාවල ප්‍රතිඵල දෙරටේ ජනතාවට වාසිදායක වන ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කළේය.

මෙම හමුව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කරමින් ආර්ථික සහයෝගීතාව, ආයතනික සබඳතා සහ ජනතා සබඳතා ඇතුළත් ඉදිරි දැක්මක් සහිත හවුල්කාරිත්වයක් ගොඩනැගීම සඳහා වැදගත් අවස්ථාවක් සනිටුහන් කළේය.

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති නිලූකා කදුරුගමුව මහත්මිය සහ අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය නිලධාරිනී නිලූෂා දිල්මිණි මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website