හෙඩිංලිහිදී ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් එංගලන්තය හමුවේ තබා, අවසන් මොහොත දක්වා උණුසුම් වූ තරගයකදී එය ලකුණු 16කින් ආරක්ෂා කරගත් ශ්‍රී ලංකාව, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට අද (24) රාත්‍රියේදී සමත් විය. නායක කුසල් මෙන්ඩිස්ගේ පන්දු 82ක ශතකය ශ්‍රී ලංකා ඉනිමට දැවැන්ත පදනමක් සැකසූ අතර, ඩුනිත් වෙල්ලාලගේගේ දඟ පන්දුවෙන් එංගලන්ත ඉනිම බිඳ වැටෙද්දී අවසන් පන්දුවාරවල ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ජයග්‍රහණය තහවුරු කළහ.
වසර හතකට පසුව එංගලන්ත භූමියේදී එංගලන්තයට එරෙහිව එක්දින ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය. අවසන් වරට 2019 වසරේ හෙඩිංලිහිදීම එංගලන්තය පරාජය කළ ශ්‍රී ලංකාව, එම ජයග්‍රහණයෙන් පසුව එංගලන්ත භූමියේදී ලැබූ පළමු එක්දින ජයග්‍රහණය මෙය විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 321ක් රැස් කළ අතර, එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 305කට සීමා විය. එංගලන්තයට එරෙහිව 2018 වසරෙන් පසුව ශ්‍රී ලංකාව එක්දින ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර, 2024 වසර ආරම්භයේ සිට එක්දින ඉනිමකදී ලකුණු 320 සීමාව පසු කළේ තෙවැනි වතාවටය.
ශ්‍රී ලංකා ඉනිමට ජයග්‍රාහී පදනම දැමූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 100 කින් ලකුණු 121ක් රැස් කරමින් සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හත්වැනි ශතකය වාර්තා කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වූ අතර, කුසල්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට මාවත විවර කළේය.
කුසල් සමඟ එක් වූ කමිඳු මෙන්ඩිස් පන්දු 73කින් ලකුණු 54ක් ලබා ගනිමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීය. පැතුම් නිස්සංක ලකුණු 25ක් ලබාගත් අතර පවන් රත්නායක ලකුණු 48කින්ද, ජනිත් ලියනගේ ලකුණු 32කින්ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවූහ.
එංගලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 143ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූහ. බෙන් ඩකට් ලකුණු 67ක්ද, ටොම් බැන්ටන් ලකුණු 73ක්ද රැස් කරමින් එංගලන්තයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නැංවූහ.
එහෙත් දුනිත් වෙල්ලාලගේ එංගලන්ත ඉනිමට දැඩි පීඩනයක් එල්ල කරමින් ඩකට්, බැන්ටන් සහ හැරී බෲක් දවාගනිමින් ශ්‍රී ලංකාව නැවතත් තරගයට ගෙන ආවේය. වෙල්ලාලගේ පන්දුවාර 10කදී ලකුණු 49කට කඩුලු 3ක් දවා ගත්තේය.
එංගලන්ත ඉනිමේ ජයග්‍රහණයට වඩාත්ම සමීප අවස්ථාව උදා වූයේ කඩුලු රකින් ක්‍රීඩක ජොස් බට්ලර්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙනි. බට්ලර් පන්දු 49 කින් ලකුණු 69ක් රැස් කරමින් තරගයේ පාලනය එංගලන්තය දෙසට නැඹුරු කළේය.
කෙසේ වෙතත්, 38 වැනි පන්දුවාරයේදී කලවා ආබාධයකට ලක්වීම හේතුවෙන් බට්ලර්ට පිටියෙන් ඉවත්වීමට සිදුවීම තරගයේ තීරණාත්මක අවස්ථාවක් බවට පත්විය. පසුව නැවත පිටියට පැමිණියද ඔහුට සුපුරුදු වේගයෙන් පන්දුවට පහරදීමට නොහැකිවූ අතර ඔහු මඩුශංකගේ ගොදුරක් ලෙසින් දැවී ගියේය.
බට්ලර් පිටියෙන් ඉවත් වන අවස්ථාවේ එංගලන්තයට ජයග්‍රහණය සඳහා පන්දු 75කින් ලකුණු 68ක් පමණක් අවශ්‍යව තිබූ අතර කඩුලු හයක් අතැතිව තිබිණි. එහෙත් එතැන් සිට ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර, ඊළඟ පන්දු 60 තුළ ලබා දුන්නේ එක් හතරේ පහරක් පමණි.
විල් ජැක්ස් ලකුණු 52ක් රැස් කරමින් අවසන් මොහොත දක්වා එංගලන්තයට ජයග්‍රහණයේ බලාපොරොත්තුව රැගෙන ගියද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් පන්දුවාර දෙකේදී තරගය තමන් සතු කර ගත්හ. අසිත ප්‍රනාන්දුගේ විශිෂ්ට අවසන් පන්දුවාර කිහිපයද ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
පන්දුවාර 48 අවසානයේ එංගලන්තය හයේ පහරක් එල්ල කළද, එය එංගලන්ත පිතිකරුවන් අතරින් පන්දුව හතරේ සීමාවට එපිටින් යවන ලද අවසන් පහර බවට පත් විය. ඉෂාන් මාලිංග සහ දිල්ෂාන් මධුශංක අවසන් පන්දුවාර දෙක විශිෂ්ට ලෙස යවමින් එංගලන්තයේ ජයග්‍රහණයේ අවසන් බලාපොරොත්තුවද බිඳ දැමූහ.
ඒ අනුව තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන ඉරිදා ද ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, එම තරගය තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන තීරණාත්මක තරගය බවට පත්ව තිබේ.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකාව – 321/6 (පන්දුවාර 50) – කුසල් මෙන්ඩිස් 121, කමිඳු මෙන්ඩිස් 54, පවන් රත්නායක 48, ජනිත් ලියනගේ 32, පැතුම් නිස්සංක 25, චරිත් අසලංක 11, දුනිත් වෙල්ලාලගේ 16*, සචිඳු කොළඹගේ 03*, ගස් ඇට්කින්සන් 55/2, ජොෆ්රා ආචර් 68/1, රෙහාන් අහමඩ් 48/2)
එංගලන්තය – 305/9 (පන්දුවාර 50)
ටොම් බැන්ටන් 73, ජොස් බට්ලර් 69, බෙන් ඩකට් 67, විල් ජැක්ස් 52, ජෝ රූට් 15, හැරී බෘෘක් 01, රෙහාන් අහමඩ් 00, ගස් ඇට්කින්සන් 16, ජෙමී ඔ්වර්ටන් 02, ජොෆ්රා ආචර් 00*, ජොෂ් ටංග් 01*, දුනිත් වෙල්ලාලගේ 49/3, ඩිල්ෂාන් මදුශංක 54/2, අසිත ප්‍රනාන්දු 68/1, එෂාන් මාලිංග 50/2, සචිඳු කොළඹගේ 55/1)
Source: srilankacricket.lk















