20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් තරගාවලිය හෙට (24) ජපානයේ අයිචි-නාගෝයාහිදී ආරම්භ වන අතර ඔක්තෝබර් 3 වැනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතය.
ජපානයේ අයිචි-නාගෝයාහිදී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්රී ලංකා කණ්ඩායමට අත්දැකීම් බහුල ක්රීඩකයන් මෙන්ම ජාතික කණ්ඩායමට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ ක්රීඩකයන් කිහිපදෙනකුද ඇතුළත් කිරීමට කපිල විජේගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් යුතු වත්මන් ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබීම විශේෂත්වයකි.
දිගින් දිගටම දස්කම් අතර සිටින සහන් ආරච්චිගේට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇති අතර, ඔහුගේ නායකත්වය යටතේ ශ්රී ලංකාව විස්සයි20 ආකෘතියෙන් පැවැත්වෙන මෙම තරගාවලියට එක්වෙයි.
මෙවර ශ්රී ලංකා සංචිතයේ වැඩි අවධානයක් දිනා ගන්නා ක්රීඩකයකු වන්නේ සිනෙත් ජයවර්ධනයි. ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති සිනෙත්ට, මෙවර ආසියානු ක්රීඩා උළෙල හරහා පළමු වරට ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
ශ්රී ලංකා සංචිතයට ලසිත් කෲස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, නුවනිඳු ප්රනාන්දු, සහන් ආරච්චිගේ (නායක), අශේන් බණ්ඩාර, චමික කරුණාරත්න, තරිඳු රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත්, දුෂාන් හේමන්ත, නුවන් තුෂාර සහ බිනුර ප්රනාන්දු යන ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්රීඩකයෝ ඇතුළත්ව සිටිති. ඊට අමතරව නවක ක්රීඩකයින් වන ගරුක සංකේත් සහ සොහාන් ද ලිවේරා ඇතුළත් වෙති.
ජපානයේ පැවැත්වෙන මෙවර ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලිය විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වෙන අතර, සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතය.
කණ්ඩායම් 10ක් මෙවර පිරිමි ක්රිකට් තරගාවලියට එක්වන අතර, ඇෆ්ගනිස්තානය, ජපානය සහ නේපාලය ‘ඒ’ කාණ්ඩයෙන්ද, හොංකොං චීනය, මැලේසියාව සහ ඕමානය ‘බී’ කාණ්ඩයෙන්ද මූලික වටයේදී තරග කරති.
ශ්රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය මූලික වටයේ තරගවලින් නිදහස් කර සෘජුවම අර්ධ අවසන් පූර්ව වටයට ඇතුළත් කර තිබේ. ඒ අනුව ශ්රී ලංකාව සිය පළමු තරගයට සැප්තැම්බර් 29 වැනිදා සහභාගී වන අතර, එහිදී ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් සමඟ තරග කිරීමට නියමිතය.
මෙම ආකෘතිය යටතේ ශ්රී ලංකාවට ආරම්භයේදීම තීරණාත්මක තරගයකට මුහුණදීමට සිදුවන අතර, එම තරගයෙන් ජයගතහොත් ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.
අවසන් පූර්ව තරගවල ජයග්රාහකයන් ඔක්තෝබර් 3 වැනිදා රන් පදක්කම සඳහා තරග කරන අතර, පරාජිත කණ්ඩායම් එදිනම ලෝකඩ පදක්කම සඳහා තරග වදිනු ඇත.
ශ්රී ලංකා පිරිමි ක්රිකට් කණ්ඩායමේ සංචිතය
- ලසිත් කෲස්පුල්ලේ
- නිරෝෂන් දික්වැල්ල
- සිනෙත් ජයවර්ධන
- නුවනිඳු ප්රනාන්දු
- සහන් ආරච්චිගේ (නායක)
- අශේන් බණ්ඩාර
- චාමික කරුණාරත්න
- තරිඳු රත්නායක
- වනුජ සහන්
- විජයකාන්ත් වියස්කාන්ත්
- දුෂාන් හේමන්ත
- නුවන් තුෂාර
- බිනුර ප්රනාන්දු
- ගරුක සංකේත්
- සොහාන් ද ලිවේරා















