ජාතික පොලිස් අභ්‍යාස ආයතනය විසින් ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සංවත්සර දිනයට සමගාමීව දෙදිනක් පුරා සාර්ථකව පැවැත්වූ National Police Academy International Research Conference 2026 (NPAIRC 2026) ජාත්‍යන්තර සමුළුව ඊයේ (01) කොළඹ Grand Maitland Hotel හිදී නිමාවට පත්කෙරුණි.
“දේශාන්තර අපරාධ සහ සමාජ ආරක්ෂණය, කලාපීය ආරක්ෂාව සඳහා ඒකාබද්ධ ප්‍රතිචාර (“Transnational Crime and Social Protection: Integrated Responses for Global Security”) යන තේමාව යටතේ අවසන් දින, දේශීය හා විදේශීය පර්යේෂකයන්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, දෙස් විදෙස් වෘත්තීයවේදීන් සහ ශිෂ්‍ය පර්යේෂකයන් සිය පරේෂණ පත්‍රිකා සහ අත්දැකීම් ඇසුරින් ශ්‍රී ලංකා පොලිසිය මෙරට සමාජ ආරක්ෂාව හා කලාපීය ආරක්ෂාව පිළිබඳව ගත යුතු නව පියවර සම්බන්ධයෙන් හරවත් දේශන, කතිකාවත් පැවැත්විය.
සමුළුවේ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහභාගි වූ අතර, ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්වූහ.
දේශාන්තර සංවිධානාත්මක අපරාධවල නව ප්‍රවණතා සහ ඊට ප්‍රතිචාර දැක්වීම, මුදල් විශුද්ධිකරණය, අපරාධවලින් උත්පාදිත දේපළ සහ දූෂණ විරෝධී නීති, තාක්ෂණය මගින් යුක්තියට ප්‍රවේශය පුළුල් කිරීම සහ අපරාධ යුක්ති පද්ධතියේ අනාගතය යන කාලීන ක්ෂේත්‍ර කේන්ද්‍ර කරගනිමින් මෙදින පැවැත්වූ උසස් මට්ටමේ විද්වත් සාකච්ඡා ත්‍රිත්වය සමුළුවට සහභගී වූ පිරිසගේ විශේෂ අවධානයට හා පැසසුමට ලක්විය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය විසින් සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලද අතර, සාකච්ඡාවන් අතරින් මාලදිවයින් පොලිස් කොමසාරිස් අහමඩ් මොහොමඩ් මහතා, ඉන්දු පැසිෆික් කලාපයේ වැඩබලන කලාපීය අධ්‍යක්ෂ ග්ලෙන් බ්‍රෙකොන් මහතා, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධතා නිලධාරිනී සෝනියා ඩග්ලස් මහත්මිය සහ ශ්‍රී ලංකා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණය ප්‍රධාන විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ සම්භාවනීය සහභාගිත්වය NPAIRC 2026 සමුළුවේ ජාතික වැදගත්කම, මෙරට ආරක්ෂක සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර සහයෝගීතාව මනාව විදහාපාන ලදී.
UNODC South Asia, ඉන්දියාවේ Central Bureau of Investigation, ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), Australian Federal Police, Financial Intelligence Unit, UNDP, NIBM වැනි ආයතන නියෝජනය කරමින් සහභාගී වූ විද්වතුන් මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සහ මාලදිවයින් පොලිස් සේවය නියෝජනය කරමින් සහභාගී වූ විද්වතුන් සිය වෘත්තීය දැනුම, අත්දැකීම් මගින් විවිධ පරාසයේ අපරාධ වළක්වාගැනීමේ හැකියාව පිළිබඳව ඔවුන්ගේ දෘෂ්ටිකෝණයන් පැහැදිලිකරමින් සමුළුවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට සක්‍රිය ලෙස දායකවනු දක්නට ලැබුනි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නියෝජනය කරමින් විශ්වවිද්‍යාල, ආරක්ෂක අධ්‍යයන ආයතන, නීති හා අධිකරණ ක්ෂේත්‍රය, රාජ්‍ය ආයතන සහ පර්යේෂණ ප්‍රජාව වෙතින් සහභාගි වූ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ පර්යේෂකයන්ගේ දායකත්වය සමුළුවේ ජාත්‍යන්තර ප්‍රවේශය, විෂය විවිධත්වය සහ ශාස්ත්‍රීය වටිනාකම තවදුරටත් ඉහළ නැංවීය.
UNODC ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක අනුෂා මුණසිංහ මහත්මියගේ අදහස් දැක්වීමත් සමඟ සමුළුවේ අවසන් භාගය වඩාත් අර්ථවත් හා අලංකාරවත් කරමින් සම්භාවනීය ආරාධිත අමුත්තන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරමින් පොලිස් සංස්කෘතික කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් සංස්කෘතික අංග හා නර්තන ඉදිරිපත් කෙරුණි.
සමුළුව පැවැත්වූ 2026.09.31 වන පළමු දින සන්ද්‍යාවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් උදෙසා පොලිස් සංස්කෘතික කොට්ඨාසය හා බටහිර තූර්ය වාදන කණ්ඩායම විසින් කටාන පොලිස් අභ්‍යාස විදයාලය පරිශ්‍රයේද විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වූ අතර ශ්‍රී ලංකා පොලිස් නිලධාරයන්ගේ එම සංස්කෘතික දක්ෂතා සපැමිණී දෙස් විදෙස් විද්වතුන්ගේ නොමද ප්‍රශංසාවට සහ ඇගයීමට ලක්වූ බව සඳහන් කළ යුතු වේ.
.














