අලි-මිනිස් ගැටුම පාලනයට සියලු ආයතන හා පාර්ශ්ව ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවධාරණය කෙරේ

අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව හා ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී Coalition for Inclusive Impact (CII), එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (UNESCO) සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) එක්ව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක පර්යේෂණ ප්‍රතිඵල සහ ප්‍රතිපත්ති නිර්දේශ පිළිබඳ ඉදිරිපත් කිරීමකට අදාළ කරුණු සාකච්ඡා කෙරිණි.

මෙහිදී අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීම, වන අලින්ගේ ආහාර හා ජල අවශ්‍යතා සපුරාලීම, මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය ආරක්ෂා කිරීම, අවිධිමත් ධීවරයන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සහ පාරිසරික සංරක්ෂණය සඳහා ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු විය.

වන අලි වාසස්ථානවල ජල මූලාශ්‍ර සහ ආහාර සම්පත් සම්බන්ධයෙන් පවතින ගැටලු හමුවේ අලි ඇතුන් ජනාවාස වෙත පැමිණීමේ අවදානම අවම කිරීම සඳහා සුදුසු කළමනාකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

හඳුනාගෙන ඇති අලි මංකඩවල් අතරින් ප්‍රමුඛතා පදනම මත අලි මංකඩවල් 06ක් කඩිනමින් ප්‍රකාශයට පත් කිරීම, වනජීවී රක්ෂිතවල වාසස්ථාන වැඩිදියුණු කිරීම සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

මේ අතර, මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා එහි රජයට අයත් ඉඩම් නිසි පරිදි මැනුම් කර සීමා ලකුණු යෙදීම මෙන්ම අනවසර ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, සුළු පන්න ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු විය.

අලි-මිනිස් ගැටුම ඇතුළු පාරිසරික ගැටලු විසඳීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත මත පදනම් වූ ක්‍රියාමාර්ග ගැනීම, අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවට ගැළපෙන සාර්ථක ක්‍රමවේද අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම රැස්වීමට කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, සුදත් බලගල්ල සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website