පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කරනු ලබන පොලිස් නිෂ්කාශන සහතිකපත් නිකුත් කිරීම සඳහා භාවිත කරන දත්ත පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශය මගින් අදාළ සහතිකපත් නිකුත් කිරීම, අයදුම්පත් කැඳවීම සහ මුද්‍රණය කිරීම සිදුවන අතර, එම දත්ත පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් මෙම තාවකාලික පියවර ගෙන හදුන්වා දී ඇත.
පද්ධතිය යථාවත් වන තෙක් පහත සඳහන් තාවකාලික ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් දැනුම් දෙයි.
අයදුම්පත් යොමු කරන ආකාරය:
- www.police.lk නිල වෙබ් අඩවියට පිවිස ‘Download Application’ ඔස්සේ අයදුම්පත භාගත (Download) කර සම්පූර්ණ කළ යුතුය.
- සම්පූර්ණ කළ අයදුම්පත, ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමඟ clear.application@police.gov.lk යන විද්‍යුත් ලිපිනයට (E-mail) යොමු කළ හැක.
මෙම ක්‍රමවේදය යටතේ අයදුම්පත් යොමු කළ පසු අදාළ පසුබිම් වාර්තා කැඳවීමට පොලිස් නිෂ්කාශන අංශය කටයුතු කරන අතර, සහතිකපත් නිකුත් කිරීම දත්ත පද්ධතිය නැවත සක්‍රිය වූ පසු සිදු කෙරේ. මෙම අවස්ථාවේදී කිසිදු මුදල් ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ.
කෙසේ වෙතත්, මෙම තාවකාලික ක්‍රමවේදයට අයදුම්පත් යොමු කරන සියලුම අයදුම්කරුවන්, දත්ත පද්ධතිය යථාවත් වූ වහාම පෙර පරිදි අදාළ ගෙවීම් සිදුකර මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
පූර්වයෙන් අයදුම්පත් ඉදිරිපත් කළ අය සඳහා
දැනටමත් අයදුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස් අතුරින් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමට හැකියාව ඇති අයදුම්කරුවන්ගේ යොමු අංක පොලිස් වෙබ් අඩවියේ පළ කිරීමට කටයුතු යොදා ඇත. එම යොමු අංක සඳහන් අයදුම්කරුවන්ට බත්තරමුල්ල, සුහුරුපාය 17 වන මහලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශයට පැමිණ සහතිකය ලබාගත හැක. (සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද මෙම සහතික ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.) තවද වෙබ් අඩවියේ යොමු අංක පළ නොවූ අයදුම්කරුවන්ට පද්ධතිය යථාවත් කිරීමෙන් පසු වාර්තා ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
අක්‍රිය වූ දත්ත පද්ධතිය කඩිනමින් සක්‍රීය කිරීමට මේ වන විටත් තාක්ෂණික කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, පද්ධතිය යථාවත් වූ වහාම ඒ පිළිබඳව මහජනතාව නැවත දැනුවත් කරන බව පොලිස් මූලස්ථානය කටයුතු කරනු ලබයි.













