වස විසෙන් තොර සුරක්ෂිත පලතුරු පාරිභෝගිකයා අතට පත් කිරීමට විශේෂ නියාමන වැඩපිළිවෙළක්

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසාත්, පලතුරු ඉදවීමේදී සිදුවන පසු අස්වනු හානි අවම කරගැනීම උදෙසාත් විශේෂ නියාමන වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.

පලතුරු ගොවීන්, අතරමැදි වෙළෙඳුන්, පලතුරු අලෙවිසැල් හිමියන්, සුපිරි වෙළෙඳසැල් ජාල ඇතුළු එම ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව වෙත වස විසෙන් තොර පලතුරු නිෂ්පාදනය, බෙදාහැරීම සහ අළෙවියේ වැදගත්කම පිළිබඳව මූලික අදියර යටතේ දැනුවත් කෙරේ.

එමෙන්ම එම පලතුරු වස විසෙන් තොර බවට  සහතික කිරීම මගින් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ මෙන්ම GAP වැනි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ දැනුවත් කර ඒ සදහා ඔවුන් හුරු කරන, දිරිමත් කරන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මූලික අදියරේදී පළතුරු නිෂ්පාදනය කරන කිහිපදෙනෙකු හඳුනා ගෙන ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහාය හා දැනුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඇතුළු ආයතන වෙතින් ලබාදී “වස විසෙන් තොර පලතුරු ඉදවන ආදර්ශ තාක්ෂණික කුටි” සකස්කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී පහත සහන් කරුණු කෙරෙහි අවධානය යොමු විය.

  • සුරක්ෂිත පලතුරු සඳහා ප්‍රමිති සහතිකයක් ලබා දීම:
  • ක්ෂණික පරීක්ෂණ සහ වෙළෙඳපොළ නියාමනය:
  • නවීන තාක්ෂණික ඉදවීමේ කුටි (Ripening Chambers) සකස් කිරීම:
  • වෙළෙඳුන් ලියාපදිංචිය හා පුහුණුව:

පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කෙරිණ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් නිලධාරින් එම සාකච්ඡාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website