අනුරාධපුරය පොලිස් වසමේ ඉසුරුමුණිය ඔරලෝසු කණුව වටරවුමේදී ඊයේ (15) දින සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
පාසැල් ළමුන් රැගත් බස් රථයක් ඉසුරුමුණිය දෙස සිට පැමිණ ඉසුරුමුණිය වට රවුමට ඇතුළු කිරීමේදී ජයන්ති වට රවුම දෙසින් ඉසුරුමුණිය වට රවුම හරහා කුරුණෑගල දෙසට ගමන් කිරීමට වට රවුමට ඇතුළු කල යතුරු පැදියක මෙම බස් රථය ගැටීමෙන් මාරක අනතුර සිදුවී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී යතුරු පැදියේ පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ගමන් කර ඇති අතර අනතුරින් ඔවුන් තිදෙනාම තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමේදී පිරිමි පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත. මරණකරුවන් දෙදෙනා වයස අවුරුදු 29ක් හා 27ක් වන දහයියාගම අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථ රියදුරුගේ නොසැලකිලිමත් සහ අපරික්ෂාකාරී රිය පැදවීම නිසා මෙම මාරක අනතුර සිදුවී ඇති බවට පොලිසිය සිදුකල මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.















