ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචාවක් – සමාගම් 89ක් හරහා මුදල් විශුද්ධීකරණය කළ සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට.
විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත මෙරට විදේශ මුදල් සංචිත අනීතික ලෙස විදේශ රටවලට බැහැර කිරීම සඳහා ව්‍යාජ සමාගම් සහ බැංකු ගිණුම් ආරම්භ කර, කූඨ ලේඛන සකස් කරමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක නිරත වූ සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ 2026 ජූනි 19 වන දින මීගමුව පොලිස් වසමට අයත් පෙරියමුල්ල ප්‍රදේශයේදීය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් සිය සමාගම් ගිණුම්වල තැන්පත් කර, ඒවා සූක්ෂම ලෙස විදේශ රටවලට ප්‍රේෂණය කර ඇති බවයි. එමෙන්ම, මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩවල තක්සේරු වටිනාකම අවප්‍රමාණය කර පෙන්වමින්, රජයට අයවිය යුතු රේගු හා තීරුබදු වංචා කරමින් ව්‍යාජ ආනයන කටයුතු සඳහා විදේශීය සමාගම් වෙත මුදල් යවා ඇති බවද හෙළි වී තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාවන් මගින් උපයාගත් මුදල් යොදවා දේපළ හා වත්කම් මිලදී ගනිමින් මොහු මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව බරපතළ වැරදි සිදු කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ 2023 ජනවාරි මස 01 වන දින සිට 2025 සැප්තැම්බර් මස 15 වන දින දක්වා කාලය තුළ, මෙරට ලියාපදිංචි දේශීය සමාගම් 89ක් උපයෝගී කරගනිමින් භාණ්ඩ ආනයනය කරන බව අඟවා ඇති බවයි. ඒ අනුව දේශීය බැංකු පද්ධතිය හරහා ටෙලිග්‍රාෆ් පණිවිඩ හුවමාරු ක්‍රමය (TT – Telegraphic Transfer) යටතේ ඇමරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් විදේශ රටවලට ප්‍රේෂණය කර, කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.















