දරුවන්ට හොඳම දේ ලබාදිය යුතුයි යන හැඟීම මත පදනම්ව අප තීන්දු තීරණ ගත යුතුයි – අගමැති හරිනි

රජයක් වශයෙන් අප අති විශාල කැපකිරීමක් සිදුකරන්නේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් වන බැවින්, දරුවන්ට හොඳම දේ ලබාදිය යුතුයි යන හැඟීම මත පදනම්ව අප තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අනුරාධපුර උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේදී අද (17) දින උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය. එහිදී උතුරුමැද පළාත් අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී 2026 සිට 2030 යන කාලසීමාව සඳහා උතුරු මැද පළාතේ අධ්‍යාපන මට්ටම සංවර්ධනය කිරීම සඳහා උතුරුමැද පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් සැකසූ උපායමාර්ගික සැලැස්මක් ද ඉදිරිපත් කෙරිණි. එම පළාතේ පාසල් පද්ධතිය නිවැරදි දත්ත කළමනාකරණ ක්‍රමවේදයක් ඔස්සේ අධ්‍යයන සහ සුබසාධන වශයෙන් ශක්තිමත් කරමින් ශිෂ්‍ය ගලනය වැඩිකිරීම සහ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති ශිෂ්‍යයෙක් ගොඩනැගීම මෙම උපායමාර්ගික සැලැස්මේ ඉලක්කයයි. එමෙන්ම රජයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුරූප වන පරිදි මෙම උපායමාර්ගික සැලැස්ම සංවර්ධනය විය යුතු ආකාරය සම්බන්ධව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ මෙහි පැමිණ සිටි පිරිසගේ අවධානය යොමු විය.

තවද පළාත තුළ පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගේ ඉලක්ක සාධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, පාසල් සංවර්ධන ව්‍යාපෘති, කලාප මට්ටමින් ක්‍රියාත්මක වන විෂය සමගාමී වැඩසටහන් සහ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත්වූ පාසල් සංවර්ධනය වැනි අංශවල වත්මන් ප්‍රගතිය සම්බන්ධව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම උතුරුමැද පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් ඉදිරිපත් කළ අධ්‍යයන, සුබසාධන සහ පරිපාලන ගැටලු පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය.

අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තීරණය වන්නේ විභාග කටයුතුවලින් සාධනීය ප්‍රතිඵල අත්පත් කර ගැනීමෙන් පමණක් නොව, ඊට සමගාමීව විෂය සමගාමී ක්‍රියාකාරකම් සම්බන්ධවද අවධානය යොමු කිරීමෙන් බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.

ඉතිහාසයේ විශාලතම ගුරුවරුන් බඳවාගැනීම 2026 වසරේදී සිදුකරන බවත්, එහිදී උපාධිධාරී ගුරුවරුන් 23,000ක්ද, විද්‍යාපීඨ ඔස්සේ පුහුණුව ලැබූ ගුරුවරුන් 6,100ක්ද, අධ්‍යාපනවේදී උපාධිධාරීන් ද බඳවා ගැනීමට නියමිත බවත්, ඒ අනුව මෙම බඳවාගැනීම හරහා සමස්තයක් ලෙස නව ගුරුවරුන් 30,000කට ආසන්න පිරිසක් මෙම වසරේදී රාජ්‍ය සේවයට එක්කර ගැනීමට සැලසුම් සකස් කර ඇති බවත් ඇය පවසා සිටියාය.

තවද නව ගුරුවරුන් බඳවාගැනීමට අමතරව අධ්‍යාපන පරිපාලන සහ ගුරු උපදේශකවරුන් බඳවාගැනීම ඉදිරියේදී ක්‍රමයෙන් සිදුකිරීමට සැලසුම් සකස් කරන බවත්, ගුරු පුරප්පාඩු සඳහා පමණක් නොව ගුරු තුලනය, දත්ත කළමනාකරණය වැනි අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අනෙකුත් ගැටලු සම්බන්ධවද අවධානය යොමු කළ යුතු බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

එසේම විවිධ සංවිධාන හා පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන රජයේ අනුමැතිය හිමිනොවන වැඩසටහන් පාසල් තුළ සංවිධානය කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් අග්‍රාමාත්‍යරිය මෙහිදී පවසා සිටියාය.

මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ සියලු දරුවන් තමන්ගේ දරුවන් යැයි සිතා කටයුතු කරමින්, ආරක්ෂාව සහ රැකවරණය සහිත ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැගිය යුතු බවයි. රට තුළ ආර්ථික හා සමාජ ස්ථාවරත්වයක් ගොඩනගමින් යන මේ මොහොතේදී අධ්‍යාපනය සඳහා විශාල ආයෝජනයක් සිදුකර ඇත්තේ ද අප අපේක්ෂා කරන ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැගීම සඳහා වන බවත් ඔහු අවධාරණය කළේය.

අනුරාධපුර / පූලියන්කුලම මහා විද්‍යාලය විසින් නිර්මාණය කළ මාර්ගගත පාසල් කළමනාකරණ පද්ධතියක්ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website