සුරේෂ් සලේ වගකිව යුතු නිලධාරියෙක් ලෙස පරීක්ෂණවලට සහාය දිය යුතුයි – ඇමැති නලින්ද ජයතිස්ස

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි තුවාන් සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග යටතේ සිටින්නේ. සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ සිටින කෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී කටයුතු කරන ආකාරය අනුව, සාමාන්‍ය සම්ප්‍රදාය අනුව තමයි ඔහු වෙනුවෙනුත් කටයුතු කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් විශේෂයක් කරලා වධ හිංසා පැමිණවීමක් හෝ කෙනෙක් විශේෂයක් කරලා අමතර සැප දීමක් වෙන්නේ නැහැ. රැඳවුම් නියෝග මත සිටන අනෙක් පුද්ගලයින්ට මෙතෙක් කාලයක් කටයුතු කළ ආකාරයටම තමයි ඒ කටයුතු සිදුවෙන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම්  කලින් අයට කටයුතු කළේ කොහොමද කියලා ගම්මන්පිල ඇතුළු කණ්ඩායමට හොයලා බලන්න පුළුවන්. ඒ ආකාරයටම තමයි සුරේෂ් සලේ වෙනුවෙනුත් කටයුතු කරන්නේ.

ඒ වගේම සුරේෂ් සලේ සම්බන්ධයෙන් මේ ඝෝෂාව වැඩි වුණ කාලය ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරී 25 වැනිදා. ඔහුට දින 90ක රැඳවුම් නියෝග නිකුත් කරන්නේ පෙබරවාරී 27 වැනිදා. ඒ දින 90 මැයි 27 වැනිදා අවසන් වුණා. මැයි 27 වැනිදා යළිත් දින 90ක රැඳවුම් නියෝග ලබා ගන්නවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ නියමිත පිළිවෙළකට. ඒ ගැන ප්‍රශ්න කරන්න බැහැ. ඒ වගේම පළමු වැනි දින 90 දී නොතිබුණ ඝෝෂාවක් දැන් ඇහෙන්න පටන් ගෙන තිබෙනවා. ඔබ හොඳට බැලුවොත්, ඔහු මෙපමණ කාලයක් රැඳවුම් නියෝග යටතේ තමයි හිටියේ, ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තමයි හිටියේ. රැඳවුම් නියෝග යටතේ සිටින අනෙක් අයට වගේම තමයි ඔහුටත් සැලකීම් කළේ.

හැබැයි ජූනි 03 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු බුද්ධි නිලධාරීන් තුන් දෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ගැනීමත් එකක් මේ ඝෝෂාව වෙනත් මට්ටමකට ඇවිත් තිබෙනවා. සුරේෂ් සලේ ඇතුළේ හිටපු දින 90ක කාලය තුළ නොතිබුණ කලබලයක්, ශබ්දයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට විරුද්ධව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමත් එක්ක ඇති කරලා තිබෙනවා, යම්කිසි කණ්ඩායමක් ඒ වෙනුවෙන් කටයුතු කරන බවත් පේනවා. 

අපිට කියන්න තියෙන්නේ තුවාන් සුරේෂ් සලේ රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරලා තිබෙනවා, බුද්ධි නිලධාරියෙක් ලෙස කටයුතු කරලා තිබෙනවා. ඔහු දන්නවා මේ පරීක්ෂණ දියත් වෙන ආකාරය පිළිබඳව, ඔහුට ඒ ගැන අවබෝධයක් තිබිය යුතුයි. පාස්කු ඉරුදින ප්‍රහාරය වගේ අපේ රටේ සිදුවුණ මිලේච්ඡ ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ කරගෙන යන කොට කෙනෙක් වැරදිකරුවෙක් නොවේ නම් කළ යුතු හොඳම දේ තමයි පරීක්ෂණවලට සහාය ලබාදීම.  ඒක රටේ පුරවැසියෙක්, රාජ්‍ය නිලධාරියෙක්, විශේෂයෙන් රාජ්‍ය බුද්ධි නිලධාරියෙක් හැටියට තමා වැරදිකරුවෙක් නොවේ නම්  පරීක්ෂණවලට සහාය ලබාදීමෙන් තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්න පුළුවන්.

නමුත්, තමන් විසින් හෝ තමන්ට සහාය දෙන, අනුබල දෙන කණ්ඩායමක් විසින් එක්කාසු වෙලා මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න යම් බලපෑමක් කරනවා නම් ඒකෙන් අනියමින් ගම්‍ය වෙන්නේ ඔහු මේකට සම්බන්ධයි ද වාගේ දෙයක්. ඒ කියන්නේ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ පරීක්ෂණවලට සහාය ලබාදීම. ඒක තමයි කළ යුතු හොඳම දේ. ඒකෙන් මේ ඝාතනයට ලක් වුුණු අයට සාධාරණයක් කරන්න පුළුවන්, මේකේ මහ මොළකරු සොයා ගන්න පුළුවන්, මේකේ දේශපාලන සම්බන්ධතා සොයා ගන්න පුළුවන්. ඒ වගේම අනාගතයේ දී දේශපාලන අරමුණු වෙනුවෙන් මෙවැනි මිලේච්ඡ ඝාතනයන් වළක්වා ගැනීමට අවශ්‍ය නීතිමය පදනම සහ යාන්ත්‍රණයන් සකස් කරන්න පුළුවන්. ඒ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ අදාළ පරීක්ෂණවලට සහාය ලබා දීම තුළින් පමණයි. එසේ නොමැතිව මේක කඩාකප්පල් කිරීමට වෑයම් කිරීම නොවෙයි. මේක කඩාකප්පල් කරන්න වෑයම් කරනවා නම් පේන්නේ ඒක පිටුපස යම්කිසි හඳුනා ගත යුතු දෙයක් තිබෙනවා කියන එක. ඒ වගේම අපි හොඳින් මතක තබා ගත යුතුයි මුල් දින 90 තුළ නොතිබුණ කලබලයක් දැන් එන්න පටන් අරන් තිබෙනවා.

මේක පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණය තුළ සිදුවන කටයුත්තක්. පරීක්ෂණ නිසියාකාරව සිදුවෙමින් තිබෙනවා. ඒකට ඉඩ ලබා දීම තමයි හොඳ. වැදගත්ම දේ තමයි, පරීක්ෂණ නිසි මාවතේ ගමන් කරන විට, පරීක්ෂණ නිසි බරින් නිසි තැනට යොමු වන විට ඒකට සම්බන්ධ අය කලබල වෙන බව අපට පේනවා. ඒක සාමාන්‍ය බුද්ධියට ගෝචර වෙන දෙයක්. අපි ඒ දිහා බලා ගෙන සිටිනවා. අපිට හැම දේකටම උත්තර දීමට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය මේ පරීක්ෂණ නිසි ආකාරයෙන් මෙහෙයවලා මේ කුමන්ත්‍රණය ගැන නිවැරදි දේවල් සොයා ගැනීම පමණයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන අවධානය යොමු කරලා තිබෙනවා. විමර්ශනවලට බාධාකාරී වන ලෙස යමෙක් කටයුතු කරනවා නම්, ප්‍රකාශ නිකුත් කරනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරයි. ඉන් පසු අධිකරණය අදාළ තීන්දුව ලබා දෙයි. ඒ වගේම තමයි පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. අට්ටාල එකක් නෙමෙයි, 10ක් ගැහුවත් පරීක්ෂණ නතර වෙන්නේ නැහැ. ඔය දහ දොළොස් දෙනෙක් අට්ටාලෙක හිටියා කියන එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහ ලොකු බාධාවක් නොවෙයි. වොයිස් කට් ඕනෑ තරම් දීපු දෙන්, ඒවා ප්‍රචාරය කරන්නත් මාධ්‍ය ආයතන තිබෙනවා. ඒ මොනවා කළත් මේ රටේ ජනතාව යුක්තිය සහ සාධාරණත්වයට ඉටු කිරීම සඳහා රජය ජනවරම අනුව කටයුතු කරනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර වලින් ඝාතනය වුණ ජනතාවට සහ තුවාල ලැබු ජනතාවට, සංවේගයට පත් පවුල්වල ජනතාව ද ඇතුළු සියලු දෙනාට සාධාරණ වන පරිදි අපි මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට කර ගෙන යනවා. ඒ වගේම වොයිස් කට් දෙන අයගෙන්ම පේනවා මෙතැන තියෙන දේශපාලන සම්බන්ධය කුමක් ද කියලා.

මට කියන්න තියෙන්නේ රැඳවුම් නියෝග යටතේ සිටින කෙනෙක් හැටියට සුරේෂ් සලේට කිසිම ආකාරයක විශේෂ වධ හිංසා පැමිණවිමක් කරලා නැහැ, කිසිම අනීතික ක්‍රමයක් අනුගමනය කරලා නැහැ. සාමාන්‍ය රැඳවුම් නියෝග ලබා ගෙන රජය භාරයේ සිටින පුද්ගලයෙකු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම පමණයි ඔහු සම්බන්ධයෙන් කටයුතු කරලා තිබෙන්නේ. මේ ප්‍රශ්නය අසන ඔබට වඩා, මෙවැනි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ සිටින සැකකරුවෙකුට සලකන්නේ කෙසේද කියලා සුරේෂ් සාලේ දන්නවා. ඒ වගේම ජනමාධ්‍යවලට මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා නම් පසුගිය කාලේ රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමක් වලට ලක් වුණ පුද්ගලයින් සම්බන්ධයෙන් ද සොයා බැලීමක් කරන්න පුළුවන්. ඔවුන්ට සලකපු ආකාරය ගැන කරුණු දැන ගන්න පුළුවන්. එදා වගේම තමයි අදත් කටයුතු කරන්නේ, ඒ විදිහටම තමයි ප්‍රශ්න කරන්නේ.

මම හිතන්නේ එවැනි තත්ත්වයක් අවශ්‍ය නැහැ කියලා. වොයිස් කට් සේරටම පිළිතුරු දෙන්න ගියොත් රටක් ඉදිරියට යන්නේ නැහැ. ඒ ගොල්ලෝ තැන් තැන්වල ඒවා කියා ගෙන යාවි. ඔවුන්ට මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න යම්කිසි දේශපාලන අවශ්‍යතාවක්, අරමුණක් තිබෙනවා. ඔවුන්ට අවශ්‍යයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දේශපාලන සම්බන්ධතා යට ගහන්න. ඒ නිසා ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අපි කටයුතු කළ යුතු නැහැ. වැදගත්ම දේ තමයි මේ පරීක්ෂණ කඩිනමින් අවසන් කරලා නඩු කටයුතු අවසන් කිරීම. එතකොට මේ සියලු කාරණා එළිකර ගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනාවලට රජයක් ලෙස අපි පිළිතුරු දිය යුතු නැහැ. මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් කරන කටයුත්තක්.

ඔව්, පුළුවන්, අනිවාර්යයෙන්ම පුළුවන්. ඔහුට පළමු දින 90 දී සැලකූ ආකාරයටම තමයි දැනුත් සලකන්නේ. ඒ ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. මොකද දින 90ක්ම ඔහුට කන්න දුන්නේ නැතිනම් මෙහෙම ඉන්න බැහැනේ. ජූනි 03 වැනි දාට පස්සේ යම්කිසි විශේෂයක් වෙලා ද කියලා මට කියන්න පුළුවන්.

පරීක්ෂණ තවමත් අවසන් නැති නිසා ඒ ඒ පුද්ගලයින් කවරාකාරයකින් මේ කුමන්ත්‍රණයට සම්බන්ධයි ද කියලා කියන්න මට බැහැ. මේවා පරීක්ෂණ මට්ටමේ තිබෙන දේවල්. අපි මේ ගැන වැඩිපුර කලබල විය යුතු නැහැ. ඔබ ඔය කියන අමාත්‍යවරු ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා නිසා එතැනට එන්න ඇති. අපි එදා සිට කියන කතාව තමයි, අපි මේ පරීක්ෂණවලට ඉදිරියට යන්න ඉඩ දෙනවා. අපි දන්නවා මේ පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට යනවා. ඒ වගේම ප්‍රතිවාදියාගේ කලබල වීම ම තමයි මේ පරීක්ෂණ නිසි පරිදි සිදුවෙන බවට තියෙන සාක්ෂිය.

ඔව්, මම දක්වා සුරේෂ් සලේ මහතාගේ පැත්තෙනුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි කියලා අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් අලුත් පනතක් ගේන්න අපි පියවර ගනිමින් සිටිනවා. නමුත් දැනට පවතින නීතිය පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඒ යටතේ කටයුතු කළ යුතුයි. ඒ අනුව කටයුතු කරනවා විශේෂයක් නැහැ.

ඔවුන් කළ යුතු හොඳම දේ තමයි තමන් සතු තොරතුරු පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම. ඔවුන් එසේ කළොත් ඒක විමර්ශකයින්ටත් පහසුවක් වේවි. රටේ වැදගත් පුරවැසියන් ලෙස ඔවුන් කළ යුතු වන්නේ ඒ තොරතුරු අදාළ අංශවලට ලබාදීම සහ පරීක්ෂණවලට සහාය වීමයි. අපි තුවාන් සුරේෂ් සාලෙටත් කියන්නේ පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට ගෙන යාමට වගකිව යුතු නිලධාරියෙක් ලෙස සහාය දෙන්න කියලා නම් ගම්මන්පිලගෙන් ඒ වාගේ ඉල්ලීමක් කරන එක ලොකු දෙයක් නෙමෙයි.

නැහැ, කිසිසේත් නැහැ.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය ජූනි 05 වැනිදා ගැසට් කළා. මේක ඊට පසුව පාර්ලිමේන්තුවේ විවාදයට ගත යුතුයි. මේ පනත් කෙටුම්පත සම්මත වුණාට පස්සේ මේ ආයතනය පිහිටුවීමට හැකියාව තිබෙනවා. මම හිතන ආකාරයට වඩා වැදගත් දේ තමයි ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවලා ඉදිරියට කටයුතු කරගෙන යාම. අපි හමුවේ තවත් අභියෝග කිහිපයක් තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ මේ ගැන ඇති තරම් සාකච්ඡා කරලා තිබෙනවා. හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරුන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ ගැන ප්‍රමාණවත් තරම් සාකච්ඡා කරලා තිබෙනවා. මේ සියලුම සාකච්ඡාවලින් පසුව තමයි මේ පනත් කෙටුම්පත සකස් කළේ.

මුලින්ම කියන්න ඕනෑ මම එවැනි වාර්තාවක් දැක්කේ නැහැ. ඒ වගේම මේක පාර්ලිමේන්තුව තුළ සිදු වුණ සිදුවීමක් ද නෙමෙයි. වාර්තාකරණයක් තිබෙනවා. ඒ වාර්තාකරණය සම්බන්ධයෙන් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරයි. ඒ වගේම දැරියකට සිදු වුණ අපයෝජනයක් සම්බන්ධයෙන්නේ මේ සිදුවීම පෙළ ගැසෙන්නේ. ලක්මාලි මන්ත්‍රීතුමියත් කාන්තාවක්. ඇයටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කියන්න දේවල් ඇති. ඇය මන්ත්‍රීවරියක් වීම නිසාම ඇයට දක්වන ප්‍රතිචාරය වෙනස් විය යුතු නැහැ. මම හිතනවා ඇයගේ ප්‍රකාශයටත් අපි කන්දිය යුතුයි කියලා.

වැරදි තොරතුරක් වාර්තා කර තිබෙනවා නම් ඒ තොරතුර ගැන තමන්ට කියන්න තියෙන දේ කියන්න අවස්ථාවක් තිබෙනවා. වරප්‍රසාද කමිටුව හමුවට කැඳවනවා ද, නැද්ද කියන එක එතුමියගේ අයිතියක්. නමුත් එතුමියට කිසිම ප්‍රශ්නයකින් තොරව කතානායකතුමාගේ අවසරය ඇතිව එතුමියට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඇය පාර්ලිමේන්තුවේ දී ඇයගේ ප්‍රකාශය කරයි. ඊට පසුව ජනමාධ්‍යවලට ඒ කතාවය පිළිතුරු දෙන්න පුළුවන්.

පසුගිය 09 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් දක්වන ලද කරුණු ඇසුරිණි.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website