‘ක්‍රිකට් පරිවර්තන කමිටුව ස්වාධීනයි’ – කමිටු සභාපති ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට ජනාධිපතිවරයාගෙන් හෝ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කිසිදු බලපෑමක් නොමැති බව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය. ඔහු සඳහන් කළේ, ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවශ්‍ය පරිවර්තන ස්වාධීනව සිදු කිරීමට අවශ්‍ය පසුබිම මේ වනවිට සකස් වී ඇති බවයි.

අද (21) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වික්‍රමරත්න මහතා පැවසුවේ, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය වෘත්තීයමය හා විනිවිදභාවයෙන් යුත් මට්ටමකට ගෙන යාම බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, තම කමිටුවට ප්‍රධාන වශ‍යෙන් පැවැරී ඇති රාජකාරිය වන්නේ ක්‍රිකට් පරිවර්තනයකට ලක් කිරීමට හෙයින් එම කාර්ය ඉටු කිරීමේදී කිසිවෙකුගේ කුලය, ජාතිය, ආගම ‍හෝ පංතිය වැනි දෑ නොසලකන බව අවධාරණය කළේය.

ක්‍රිකට් සභාපති ලෙස පත්වී‍මෙන් අනතුරුව ආගම්වාදී මඩ ප්‍රචාර ඇතැම් පිරිස් පතුරුවාලීම හෙලා දකින බවද ඒ මහතා පැවැසීය.

“මා ඉගෙන ගත් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ‍ලෙස කටයුතු කළා. මා විවාහ වුණේ උඩරට බෞද්ධ පවුලකින්. විශාකා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් සමඟ. මම බැංකුවක් හැදුවා කවදාවත් ඔය චෝදනා ආවේ නෑ. ජාතික සංවර්ධන බැංකුවේ සභාපති වුණා ඔය චෝදනා ආවේ නෑ. ජාතික තොරතුරු මධ්‍යස්ථානය රජයට හැදුවා ඔය චෝදනා ආවේ නෑ. රාජ්‍ය ව්‍යාපාරවල ඇමැති කෙනෙක් වුණා. උප ඇමැතිවරයෙක් වුණා. මුදල් රාජ්‍ය ඇමැති වුණා ඔය චෝදනා ආවේ නෑ“ වික්‍රමරත්න මහතා පැවැසීය.

තමන්ට එල්ල වන ආගම්වාදී චෝදනා සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දිගුකාලීන සේවාවක් කළද එවැනි චෝදනා කිසිදා මතුව නොතිබූ බව පෙන්වා දුන්නේය.

ඉදිරියේදී ක්‍රිකට් ආයතනය හැම රුපියලක්ම වැය කිරීමේදී පාසලේ සිටින දරුවාගේ ක්‍රිකට් ඉහළට ගැනීම, කාන්තා ක්‍රිකට් ඉදිරියට ගැනීම හා ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ පමණක් සැලකිල්ලට ගැනීම එකම ප්‍රතිපත්තිය බව ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විධිමත් කිරීමට හා මූල්‍ය පාලනයක් ඇති කිරීමට නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වැඩ පිළිවෙලක් සකසා ඇතැයිද මුල් පෙළේ නීතිඥයින් කිහිප‍දෙනකු‍ගෙන් සමන්විත කමිටුවක් ව්‍යවස්ථා කෙටුම්පත සැකසීම ‍වෙනුවෙන් පත්කොට ඒ පිළිබද අයිසීසීය දැනුම්වත් කොට ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ කොටස්කරුවන් වන්නේ ජනතාවයි. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධන සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉතා වැදගත්,” යැයිද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (21) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුවට ඉරාන් වික්‍රමරත්න, ‍සිදත් වෙත්තමුණි, ප්‍රකාෂ් සාෆ්ටර්, නීතීඥ ඩිනාල් පිලිප්ස් හා නීතීඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරු එක්ව සිටි අතර, පසුගිය කාලයේ සිඳුකරන ලද මුදල් ගණුදෙනු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට වෝහාරික විගණනයක් සිඳු කරන බව සඳහන් විය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ‍කොටස්කරුවන් වන්නේ පොඳු මහජනතාවයි. ව්‍යවස්ථාව සකස් කිරීමේදී මහජන අදහස් ලබා ගැනීමට කටයුතු කරනවා. ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තුව ක්‍රිකට් ජයග්‍රහණ ලබා ගැනීම දකින්නයි. අපට තියෙන වගකීම ඒ වෙනුවෙන් පසුබිම සකස් කිරීමයි. නව ව්‍යවස්ථාවක් ඇතිකොට පාලන ක්‍රමය ‍වෙනස් කරන්න අපි සූදානම්. ව්‍යවස්ථාව වෙනස් කිරීම ආරම්භ ‍කොට තියෙනවා. ඒ සදහා මහජන අදහස් ලබා ගැනීම කරනවා. අපි එකවරම සැලසුම් ඉදිරිපත් නොකොට ඇහුම්කම්දීම වැදගත්“ වික්‍රමරත්න මහතා පැවැසීය.

“මේ පරිවර්ථන කමිටුවේ මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් සිටිනවා. දක්ෂ නීතීඥයින් සිටිනවා, පරිපාලනය පැත්තෙන් දක්ෂ අය සිටිනවා. ක්‍රිකට්වලට කිසිම ඇඟිලි ගැසීමක් නෑ. ආණ්ඩුව ක්‍රිකට් ස්වාධීන කරලා තියෙනවා. අපේ වැඩ ස්වාධීනව කරගෙන යන්න හැකියාව ලැබී තිබෙනවා. ඒක අයිසීසී එකත් හොදින් දන්නවා. පාර්ලිමේන්තුවේ ක්‍රිකට් පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. මේකට දේශපාලනයක් නෑ“ වික්‍රමරත්න මහතා පැවැසීය.

‍‍මෙම මාධ්‍ය හමුවට එක්වූ ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජික සිදත් වෙත්තමුණි මහතා පැවැසූවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට පූර්ණ අවධානයක් යොමු කරන බවයි.

“ඉස්සර හිටියා පුහුණුකරුවන් 10ක් විතර. ඒ අය සම්පූර්ණ කාලයම ක්‍රීඩාව ‍වෙනුවෙන් කැප කළා. පාසල් 36ක 19න් පහළ පුහුණුකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. නිසි ප්‍රමිතියකින් යුත් ක්‍රිකට් පුහුණුකරුවන් බිහි කිරීමට රටවල් ‍දෙක තුනක් සමඟ පුහුණු සමුළුවක් තියන්න පුළුවන්.  ක්‍රිකට් වෙනසක් ‍වෙනුවෙන් චිත්‍රසිරි කමිටු වාර්තාවක් තිබෙනවා. එය පදනම් කරගෙන අළුත් ව්‍යවස්ථාවක් හදලා මාස තුනක් හතරක් ඇතුලත පාර්ලි‍මේන්තුවට ගෙන ඒමට අපි කටයුතු කරනවා“ වෙත්තමුණි මහතා පැවැසීය. පුහුණුකරුවන් ගොඩනැගීමට සැලසුම් කිරීම, විනිසුරුවන්ගේ සහ තරග තීරකවරුන්ගේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බද සදහන් විය.

ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයින් ‍ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් වූ රොෂාන් මහානාම හා කුමාර් සංගක්කාර යන මහත්වරු ඇතුලත්ව ඇති අතර, ඔවුන්ගේ පූර්ණ සහයෝගය නව තාක්ෂණය ඔස්සේ ලබාගෙන ඇතැයි ද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මූලාශ්‍රය – srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website