2025 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ  5.0%ක  වර්ධනයක්  – ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

ශ්‍රී ලංකා ආර්ථිකය 2025  වසරේදී  5% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශ කරන ලදී. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන ආර්ථික අංශයන්ගේ  වර්ධනයක් පෙන්නුම් කර ඇති බව පැවැසුහ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  සභාපතිත්වය දරණ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ඒ මහතා නොපැමිණීම දන්වා තිබූ බැවින්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන්  සහ  ගරු නියෝජ්‍ය අමාත්‍ය  නිශාන්ත ජයවීර, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නිමල් පලිහේන යන මහත්ම මහත්මීන්ගේ  සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරන ලදී.

2025 අගෝස්තු මාසයේ සිට උද්ධමනය ධන අගයක් ගත් බවත්, ප්‍රධාන වශයෙන් ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාම මෙයට හේතු වී ඇති බවත්, වාර්ෂික ආර්ථික විවරණය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දී ඇත.

රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වී ඇති අතර, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 16.6% දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4% ක් ලෙස වාර්තා වී ඇත. සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% දක්වා අඩු වී ඇති අතර, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 91.6% දක්වා පහළ බැස තිබේ.

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1 ක වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති බවත්, සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2 ක් ලෙස වාර්තා වී ඇති බවත්, වාහන ආනයන සීමා ඉවත් කිරීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම නිසා වෙළඳ හිඟය පුළුල් වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරමින් පෙන්වා දෙන ලදී.

විදේශ විනිමය හා සංචිත සම්බන්ධයෙන්, 2025 වසර තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5.6 කින් අවප්‍රමාණය වී ඇති බවත්, වසර අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 දක්වා වර්ධනය වී තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු පැවසුහ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් වෙළඳපොළ පොලී අනුපාතික පහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලික අංශයට ලබා දුන් ණය 25.2 %ක වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්ෂික ආර්ථික විවරණය මගින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් පරිදි ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් වීමත් සමඟ ශ්‍රම වෙළඳපොළේ ද යහපත් ප්‍රවණතාවක් දක්නට ලැබී ඇති අතර, විරැකියා අනුපාතිකය 3.9% දක්වා පහළ ගොස් තිබේ. ශ්‍රම බලකා සහභාගිත්වය ද 49.4% දක්වා ඉහළ ගොස්  ඇත.

එසේම, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් 2026 වසර තුළ නව ආර්ථික අභියෝග මතු විය හැකි බවට ද මෙම වාර්ෂික ආර්ථික විවරණය මඟින් කරුණු දක්වා ඇත. වසර 3ක් පමණ ගෙවුම් ශේෂ අතිරික්තයක්  පැවතිය ද, එය මෙම වසරේ  හිඟයක් වීමේ ප්‍රවණතාවක්  ඇති  බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු පැවසුහ.

රාජ්‍ය බැංකුවල පවතින අක්‍රීය ණය ගැටලුව විසඳීමට “Bad Bank” සංකල්පය වැනි විශේෂ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සහ ඉහළ පොලී අනුපාතික පරතරය ආර්ථික වර්ධනයට එල්ල කරන බලපෑම පිළිබඳව කාරක සභාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමුකරන ලදී. තව ද, තාක්ෂණික සහ මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයතන පද්ධතියක් ගොඩනැගීම අරමුණු කරගෙන කුඩා බැංකු සහ මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා රජය විසින් ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්මක් හඳුන්වා දී ඇති බව මහ බැංකු නිලධාරීහු පැවසුහ. මෙම ප්‍රතිසංස්කරණ හරහා කුඩා ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. දේශීය රුපියලේ අගය දැඩි ලෙස අවප්‍රමාණය නොවී රැක ගනිමින් නිල විදේශ සංචිත ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන උපායමාර්ගික ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම කාරක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

 මෙම රැස්වීම සඳහා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website