ආර්ථික සංගණනය 2025/26 යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම ඇරඹෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දශකයකට වරක් සිදුකරනු ලබන ආර්ථික සංගණනය යටතේ 2025/26 ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම ඔක්තෝබර් මස 01 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය අද (08) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

ඒ අනුව, සියලු කෘෂිකාර්මික තොරතුරු රැස්කිරීමේ කාර්යය මේ වනවිට ආරම්භ කර ඇත. මේ යටතේ කෘෂිකාර්මික බෝග වගාව, සත්ත්ව පාලනය/ජලජීවී වගාව සහ වගාවන් සිදුකිරීමට යොදාගන්නා ඉඩම් පිළිබඳව තොරතුරු රැස්කරනු ලැබේ. මෙහිදී, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකර්ම අංශයේ ව්‍යුහය පිළිබඳ කුඩාම පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටම දක්වා තොරතුරු රැස් කිරීම, සැකසීම සහ බෙදාහැරීම සිදුවේ. මීට පදනම් කර ගනු ලබන්නේ එක් වගා වර්ෂයක් සඳහා අදාළ කෘෂිකාර්මික තොරතුරුයි.

ජාතික මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් කෘෂිකර්ම අංශයට අදාළව රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාගැනීම, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හා පළාත් පාලන කොට්ඨාස මට්ටමින් දත්ත භාවිතා කරන්නන්ගේ අවශ්‍යතාව අනුව තොරතුරු ලබාදීම සහ රටේ ආර්ථික ව්‍යුහය හඳුනාගනිමින් ආර්ථික දර්ශක වැඩි දියුණු කිරීමට හැකිවීම තුළින් අදාළ දර්ශකවල නිරවද්‍යතාව ඉහළ නැංවීමට හැකිවීම මෙම සමීක්ෂණය සාර්ථකව සිදුකිරීම තුළින් ඉටුකර ගැනීමට හැකිවේ.

සංගණන තොරතුරුවල රහස්‍යතාව සම්පූර්ණයෙන් ආරක්ෂා කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව බැඳී සිටින අතර සංගණනයේදී ලබාගන්නා කිසිදු පුද්ගලික තොරතුරක් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෙළිදරව් කළ නොහැක. එසේම සංගණන උපලේඛනවල තොරතුරු උසාවියකදී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමටද නොහැක.

තොරතුරු රැස්කරන නිලධාරීන් විසින් සියලුම ගෘහකාණ්ඩ සහ ආයතන වෙත ගොස් කෘෂිකාර්මික කටයුතු සිදුකරන ඒකක හඳුනාගෙන ගොවිකාණ්ඩ සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මගින් තොරතුරු රැස්කිරීම සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website