දෙසැම්බර් මාසය වන විට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙලෙස උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අද (20) මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේය.
පසුගිය මාසය අවසානයේ දී මෙරට උද්ධමනය සියයට 8.3ක් ලෙස වාර්තා වූ බවත් 2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.
උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට හැකි ඉක්මනින් ළඟා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා ඉහළ උද්ධමනය හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ල වන බව ද කීවේය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දී උද්ධමනය ඉහළ යාම සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණේය.
එම නිවේදනයට අනුව, මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් මුළුල්ලේ පවතී. ඉහළ ගිය ගෝලීය බලශක්ති මිල ගණන් සමඟ ඉහළ යමින් පවතින ආහාර මිල ගණන් හේතුවෙන් දේශීය ආර්ථිකය තුළ උද්ධමනකාරී පීඩනයන් වැඩි වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේ ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 8.3%ක් දක්වා (වාර්ෂික ලක්ෂ්යමය) ඉහළ ගොස් ඇත. ඉහළගිය බලශක්ති සහ ආහාර මිල ගණන්වල වක්‍ර බලපෑම් හේතුවෙන් මූලික උද්ධමනය ද ඉහළ ගියේය. මෑත කාලීනව ගෝලීය බලශක්ති මිල ගණන් යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇත. කෙසේ වුවද, බලශක්ති මිල ගණන්වල මීට පෙර සිදුවූ ඉහළ යාම් මගින් ඇති කෙරෙන දෙවන වටයේ බලපෑම් හේතුවෙන් නුදුරු කාලීනව මිල මට්ටම් මත පීඩනයන් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. නවතම පුරෝකථනවලට අනුව, උද්ධමනය, නුදුරු කාලීනව පෙර පුරෝකථනය කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි අතර, අනතුරුව 2027 වසරේ දෙවන භාගයේ දී 5%ක ඉලක්කගත මට්ටම කරා නැවත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදි කාලීන උද්ධමන අපේක්ෂාවන්, උද්ධමන ඉලක්කය වටා ස්ථාවරව පවතින නමුත්, විශේෂයෙන් ඉදිරි වසරක කාලය සඳහා වන උද්ධමන අපේක්ෂාවන් මෑත කාලීනව ඉහළ යාමක් පෙන්නුම් කරයි.















