ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සහ රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවීම සඳහා චීන රජය අඛණ්ඩව ලබාදෙන සහයෝගය මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය නිපුණතා වර්ධනයට මහඟු දායකත්වයක් සපයයි.
ඊෙය් (19) කොළඹදී පැවැති චීන ආධාර පුහුණු වැඩසටහන්වලට සහාභාගී වූ ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන්ගේ හමුව අමතමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර දශක ගණනාවක් පුරා පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සහ ආයතනික ධාරිතා ගොඩනැංවීම වෙනුවෙන් චීන මහජන සමූහාණ්ඩුවේ රජය ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.
මෙම සහයෝගීතාවයේ ප්‍රගතිය පෙන්වා දෙමින් 2024 සිට 2026 දක්වා කාලය තුළ චීනය විසින් පිරිනමන ලද පුහුණු වැඩසටහන් 380ක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා සම්බන්ධීකරණය කර ඇති අතර, එමගින් ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් 2,481 දෙනෙකුට ප්රතිලාභ හිමිව ඇති බවද සඳහන් කළේය.
2026 වසරේදී පමණක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා සම්බන්ධීකරණය කරන ලද බහුපාර්ශ්වික පුහුණු වැඩසටහන් 44ක් සහ ද්විපාර්ශ්වික පුහුණු වැඩසටහන් 13ක් ඔස්සේ රාජ්‍ය නිලධාරීන් 700කට අධික පිරිසක් පුහුණු අවස්ථා ලබාගෙන තිබේ.
එසේම, චීන වාණිජ අමාත්‍යාංශයේ (MOFCOM) ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ චීනයේ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වලින් ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි හැදෑරීමට ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන අවස්ථාද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
ඩිජිටල් තාක්ෂණය, නවෝත්පාදනය, කාර්මික සංවර්ධනය, යටිතල පහසුකම් සහ නවීකරණය යන ක්ෂේත්රවල චීනය අත්කරගෙන ඇති ප්‍රගතිය ශ්‍රී ලංකාවට වැදගත් අත්දැකීම් සහ පාඩම් රැසක් ලබා දෙන බවද ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය සහ රාජ්‍ය අංශය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී එම අත්දැකීම් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වලට ගැළපෙන පරිදි යොදාගැනීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කළේය.
පුහුණු වැඩසටහන් වල සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ පුහුණුව ලැබූ නිලධාරීන් සංඛ්‍යාව මත පමණක් නොව, ඔවුන් ලබාගත් දැනුම සහ අත්දැකීම් රාජ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමටත්, ආයතන ශක්තිමත් කිරීමටත්, ජාතික සංවර්ධනයට දායක කරගැනීමටත් යොදාගන්නා ආකාරය මත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, මෙම පුහුණු වැඩසටහන් වලට සහභාගී වූ නිලධාරීන් අතර අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් තම දැනුම සහ අත්දැකීම් සෙසු නිලධාරීන් සමඟ බෙදාහදා ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන දැනුමේ තානාපතිවරුන් ලෙස මෙම ආදි ශිෂ්‍යයන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවද සඳහන් කළේය.
අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, තාක්ෂණ හුවමාරුව, පර්යේෂණ සහ දැනුම හුවමාරු කරගැනීම යන ක්ෂේත්රවල දෙරට අතර සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් පුළුල් වනු ඇති බවට විශ්වාසය පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම වටිනා වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා දායක වූ චීන රජයට, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට සහ අදාළ සියලු ආයතන හා නිලධාරීන්ට සිය ස්තුතිය පළ කළේය.















