
බෝ නොවන රෝග කල්තියා හදුනා ගැනීම සදහා නිලධාරින් වෙනුවෙන් එක් නිලධාරින් වෙනුවෙන් එක් වසරකට මිලියන 200ක් ( රුපියල් ලක්ෂ දෙදහසක්) ප්‍රතිපාදන වෙන් කර ඇත.
ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන පොලිස් සෞඛ්‍ය සහ සුඛ විහරණ යෝජනා ක්‍රමය යනු පොලිස් නිලධරයන්ගේ යහපැවැත්ම හා සුබසාධනය වෙනුවෙන් මූල්‍ය පහසුකම් සලසන අරමුදලයි.
මෙමගින් පොලිස් නිලධාරීන්ට යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම සඳහා මෙන්ම විවිධ රෝගාබාධ හා ශල්‍යකර්මවලදී, අවමංගල්‍ය කටයුත්තකදී අවශ්‍ය මූල්‍ය සහන සලසයි.
පෙර පැවති පොලිස් වෛද්‍ය සේවා අරමුදල සහ පොලිස් සුඛ විහරණ අරමුදල ඒකාබද්ධ කරමින් ආරම්භ කරන ලද 2757/2023 පොලිස් සෞඛ්‍ය සුබ සාධක යෝජනා ක්රමයෙහි දිමනා සහ ප්රතිලාභ වැඩි කිරිමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි මෙම නව යෝජනා ක්‍රමය හදුන්වා දී ඇත.
මීට අදාළ පොලිස්පති චක්‍රලේඛය 2757/2026 (1) මැයෙන් 2026.03.23 වන දින සියළු පොලිස් කොට්ඨාස වෙත නිකුත්කෙරුණි.
සාමාජිකත්වය දරන සියළු පොලිස් නිලධාරීන්ගේ මාසික වැටුපෙන් රුපියල් 150 ක් වැනි සුළු මුදලක් මෙම අරමුදලට බැර වන අතර පොලිස් ත්‍යාග අරමුදලින් මාසිකව රුපියල් මිලියන දහයකට අධික මුදලක් පොලිස්පතිතුමාගේ අනුමැතිය යටතේ පොලිස් සුඛ විහරණ අරමුදලට බැර කෙරේ.
යම් නිලධාරියෙකු සේවා කාලය තුලදී උග්‍ර රෝගී තත්වයක්ට පත්වී ජීවිත හානි විය හැකි හෘදය, මොළය,පිළිකා, වකුගඩු, ඇට මිදුළු ශල්‍යකර්ම, අක්මාවේ ශල්‍යකර්මයකට ලක් වුවොත් එම ශල්‍යකර්මය වෙනුවෙන් සහ රෝගී තත්වය වෙනුවෙන් භාවිතාකිරීමට සිදුවන ඖෂධ හා එන්නත් සඳහා වියදම සේවා කාලය තුළදී උපරිමය රු. 2,000,000 ක (ලක්ෂ 20) මුදලක් දක්වා ගෙවීම මෙමගින් නිලධාරියෙකුට ලබාගත හැකි ඉහළම ප්‍රතිලාභයයි.
එවැනි රෝගී තත්වයකට නිලධාරියෙකු ජාතික රක්ෂණ භාර අරමුදලේ රන් යෝජනා ක්‍රමයෙන්/ ජනාධිපති අරමුදලෙන්/ වෙනත් අරමුදකින්/ වෙනත් රක්ෂණ ක්‍රමයකින් ප්රතිලාභ ලබාගෙන, එහෙත් ප්‍රතිකාර සඳහා වියදම පියවාගත නොහැකිනම් ආවරණය නොවූ මූල්‍ය ශේෂය රු. 2,000,000 ක (ලක්ෂ 20) මුදලට යටත්ව පොලිස් සෞඛ්‍ය සහ සුඛ විහරණ යෝජනා ක්‍රමය මගින් ලබාගෙන ගෙවීමට හැකිවීම මෙහි විශේෂත්වයකි. එම ශල්‍යකර්මය සඳහා නැවත මුදල් ගෙවීමට සිදුවුවත් මෙම ක්‍රමවේදය යටතේ උපරිමය රුපියල් ලක්ෂ 20 ක මුදලක් දක්වා පොලිස් සෞඛ්‍ය සහ සුඛ විහරණ යෝජනා ක්‍රමය මගින් මුදල් ලබාගැනීමේ හැකියාව පවතී.
එමෙන්ම පෙනහලු, ගර්භාෂය, RF Ablation ශල්‍යකර්ම, ප්‍රාථමික පෙහලු ධමනි, අගන්‍යාශයික ප්‍රදාහය, Fulminant Hepatitis (FH), Multiple Sclerosis(MS) රෝග සඳහා සිදුකරන ශල්‍යකර්ම, කොඳුඇටපෙළ ශල්‍යකර්ම, අවයව බද්ධ කිරීම යන ශල්‍යකර්ම නිලධරයෙකුට හදිසියේ සිදුකිරීමට සිදුවුවොත් එම එක් එක් අවස්ථාවන් සඳහා රුපියල් 500,000 (ලක්ෂ 5 ) උපරිමය යටතේ ගෙවීම සිදුකරයි.
ජාතික රක්ෂණ භාර අරමුදලේ රන් යෝජනා ක්‍රමයෙන්/ ජනාධිපති අරමුදලෙන්/ වෙනත් අරමුදලකින්/ වෙනත් රක්ෂණ ක්‍රමයකින් ප්රතිලාභ ලබාගෙන, එහෙත් ප්‍රතිකාර සඳහා වියදම පියවාගත නොහැකිනම් මෙම ලක්ෂ 5 ක උපරිම මුදල ලබාගෙන හිඟ මුදල ප්‍රතිපූර්ණය කරගැනීමේ අවස්ථාව සලසා තිබේ. එම ශල්‍යකර්මය සඳහා නැවත මුදල් ගෙවීමට සිදුවුවද මෙම ක්‍රමවේදය යටතේ උපරිමය රුපියල් 500,000 (ලක්ෂ 5 ) මුදලක් දක්වා පොලිස් සෞඛ්‍ය සහ සුඛ විහරණ යෝජනා ක්‍රමය මගින් මුදල් ලබාගැනීමේ හැකියාව පවතී.
මීට අමතරව
- සියලුම අංශභාග රෝගී තත්වයන් සඳහා රු.100,000 (ලක්ෂයක්) ගෙවීම
- පොලිස් රෝහලේ සිදුකරදීමට පහසුකම් නොමැති, රජයේ රෝහලක පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් රැදී සිටීමට සිදුවන අත්‍යවශ්‍ය ශල්‍යකර්ම වන දණහිස්, ශ්‍රෝණි මේඛලා, අත හෝ පාදයේ අස්ථි බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා රුපියල් 250,000/= (දෙලක්ෂ පනස්දහසක්) දෙවතාවක් පමණක් ගෙවීම.
- සක්‍රිය සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු හට ශ්‍රවණාබාධයක් ඇතිවුවොත් වෛද්‍ය නිර්දේශය පරිදි කෘතිම අවයව වෙනුවෙන් නිලධාරියා දැරූ පිරිවැය රුපියල් 50,000/= ක උපරිමයකට යටත්ව ප්‍රතිපූර්ණය කිරීම.
- *රජයේ රෝහලක හෝ පොලිස් රෝහලේ නේවාසිකව ප්රතිකාරලබමින් සිටින නිලධරයෙකුට MRI / Angiogram/ CT Scan / PET Scan / Eco පරීක්ෂණ පිරිවැය නිලධාරියාගේ ස්වකීය මුදලින් පුද්ගලික පරීක්ෂණාගාර මගින් සිදුකරගැනීමට සිදුවුවහොත් රුපියල් 20,000/= ක උපරිමයකට යටත්ව අවස්ථා 03කදී පමණක් ප්‍රතිපූර්ණය කිරීම.
- සක්‍රිය සේවයේ නිලධාරියෙකු වකුගඩු රෝගී තත්වයකදී රජයේ අනුමත පුද්ගලික රෝහලකින් රුධිර කාන්දුකරණයන් (Dialysis) සඳහා වියදම් කිරීමට සිදුවුවහොත් තුන්වරකදී පමණක් රුපියල් 2,000,000 ක උපරිමයකට යටත්ව වියදම ප්‍රතිපූර්ණය කිරීම.
- ඉහත සඳහන් සැත්කම් නොවන සැත්කමට ලක් වී රෝගියාට රජයේ රෝහලකින් ඖෂධ සැපයීම සිදු නොකරන්නේ නම් වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි වසර 3 ක කාලයක් මාසිකව රුපියල් 25,000 ක උපරිමයට යටත්ව පොලිස් රෝහල මගින් ඖෂධ මිලීදී ගෙන ලබාදෙනු ඇත.
- වයස අවුරුදු 40 ට වැඩි සාමාජික නිලධරයන්ගේ ඇස්වල පෙනීම දුර්වල වූ විට ඇස් කණ්ණාඩි මිලදී ගැනීම සදහා වැය වූ මුදල ප්‍රතිපූර්ණය සඳහා රුපියල් 15000/= ක උපරිමයකට යටත්ව මුදල් ගෙවීම.
වැනි ප්රතිලාභ රැසක හිමිකරුවන් වීමට පොලිස් සෞඛ්‍ය හා සුඛ විහරණ යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභ ලබන පොලිස් නිලධරයන්ට අවස්ථාව උදාකර ඇති අතර පොලිස්පති චක්‍රලේඛය 2757/2026 පරිශීලනය කිරීම මගින් මේ සම්බන්වද පූර්ණ අවබෝදයක් ලබාගත හැකි බව දන්වා සිටින්නෙමු.














