චීවරධාරීන් 22ක් ගුවන් තොටුපළේදී දැලේ: කුෂ් සහ හෂීස් කිලෝ 112කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට

බැංකොක් නුවර සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ ස්වාමින් වහන්සේලා 22 දෙනෙකු, මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය. ඊයේ (25) වන දින බැංකොක් සිට පැමිණෙන ගුවන් යානයකින් ස්වාමීන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට එම තොරතුරෙන් අනාවරණය වී තිබුණි.

ඒ අනුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකටයුතු චීවරධාරීන් 22 දෙනා සහ ඔවුන් සතු බෑගයන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී රඳවා ගනු ලැබීය.

ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සමඟ එක්ව සිදුකළ විශේෂ පරීක්ෂාවකදී, ඔවුන් සන්තකයේ තිබී පහත මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි විය

• කුෂ් කිලෝග්‍රෑම් 101යි ග්‍රෑම් 768ක්.
• හෂීස් කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 812ක්.

අත්අඩංගුවට ගත් සැකකාර ‘චීවරධාරීන්’ වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන ශ්‍රී ලාංකාවාසින් වන අතර, ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට උත්සාහ කර තිබේ.

මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන මෙහෙයවන්නන් කවුරුන්ද සහ මොවුන් මෙරට මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website