ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (19) උදෑසන මෙරටට පැමිණි ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
X හි සටහනක, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් මහතා ප්‍රකාශ කළේ, මෙම හමුව අතරතුර, නායකයින් දෙදෙනාම බෙදාගත් ඉතිහාසය සහ සංස්කෘතික සබඳතා තුළ මුල් බැසගත් බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි.
දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා වැඩිදියුණු කළ සහයෝගීතාව අවධාරණය කරමින්, “අසල්වැසියා පළමුව” ප්‍රතිපත්තියට ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම ඉන්දීය උප ජනාධිපතිවරයා නැවත තහවුරු කළේය.
“ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සහ ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය ඇතුළු විවිධ මුලපිරීම් කෙරෙහි ද සාකච්ඡාවලදී අවධානය යොමු වූ” බව ඔහු තවදුරටත් පැවසීය.
















