ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි – ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන්
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන ආර්ථික, සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව අගය කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

මෙරට දෙදින නිල සංචාරයක නිරත ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඉන්දියානු උප ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳවද ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා වෙත සිය සුබපැතුම් එක් කළේය.
ශ්‍රී ලංකාවේ සිදු කරන තම ප්‍රථම නිල සංචාරය මෙය බව මෙහිදි සඳහන් කළ ඉන්දියානු උප ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේදී හිමි වූ විශේෂ පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබඳවද සිය ස්තූතිය පිරිනැමීය.
අනතුරුව, නායකයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරණු අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලින මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ආයෝජන සහ වෙළෙඳ ක්ෂේත්‍රයන්හි මෙන්ම විශේෂයෙන් බලශක්ති සුරක්ෂිතතාව සහ වරාය සංවර්ධනයට අදාළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය උප ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙනුවෙන් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
හදිසි අවස්ථාවලට අමතරව පසුගියදා තමා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරයේදී මෙන්ම නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා මෙරට සිදු කළ සංචාරයේදීද ඇති කරගත් අවබෝධතාව අනුව ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දෙන ආර්ථික සහ සමාජයීය ආදී සෑම ක්ෂේත්‍රයකම සහයෝගීතාව පුළුල් වී තිබෙන බවත්, ඒ අනුව දැනට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ තුළ ඉදිරියේදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද සඳහන් කළේය.
එමෙන්ම දිට්වා සුළි කුණාටුව හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂි සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඉන්දියානු අයවැයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදලක් වෙන් කිරීමද කෘතවේදීව අගය කළේය.
එසේම, මැදපෙරදිග යුදමය තත්ත්වය සමඟ ඇති වූ බලශක්ති අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් මෙරටට එවීමට ගත් පියවරද ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.
තාක්ෂණික වශයෙන් ඉන්දියාව අත්පත් කරගෙන තිබෙන සුවිශේෂි ජයග්‍රහණ මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ක්ෂේත්‍රයන්හිදී ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් විශේෂයෙන් මානව සම්පත් සංවර්ධනයේදී සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහිදී ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බවත් පැවසීය.
ධීවර ගැටලු කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර දෙපාර්ශ්වයම සහයෝගීතාවයෙන් කටයුතු කර ඒ සඳහා දීර්ඝකාලීන ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට ලක් විය.
ඉන්දියානු දූත පිරිස නියෝජනය කරමින් ධීවර, සත්ව පාලන සහ කිරි නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය එස්.පී. සිං බාගෙල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය කේ. ලක්ෂ්මන්, ආචාර්ය මේධා විශ්‍රම් කුල්කර්ණි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.ආර්.කේ. ලෙනගල යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
















