රජය සහ සිවිල් සමාජය අතර හවුල්කාරිත්වය වෙනුවෙන් විවර වූ නව මාවතක් – ජෙහාන් පෙරේරා

එක්සත් ජාතීන්ගේ 1325 යෝජනාවේ 25 වැනි සංවත්සරය සනිටුහන් කරන සිවිල් සමාජ උත්සවයකට සහභාගී වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් පෙන්වාදුන්නේ රජයට දැන් සිවිල් සමාජ කණ්ඩායම් සමඟ වැඩකිරීමට වඩාත් විවෘත විය හැකි බවයි. මේ වන තෙක් රජය මෙම සංවිධාන සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී හෝ ඔවුන්ගේ අදහස් ඉල්ලා නැත. කෙසේවෙතත්, උත්සවයේදී ඔහුගේ කතාවෙන් යෝජනා වූයේ, රජය තම ප්‍රවේශය නැවත සලකා බලමින් සිටින බවයි. ඔහුගේ පැමිණීම පමණක්ම එහි සිටි අයට වැදගත් පණිවිඩයක් යැවීය. රජය සංවාදයක් පැවැත්වීමෙන් දුරස්ථව සිටීමේ සිට හවුල්කාරිත්වයට වඩාත් විවෘත වීම දක්වා ගමන් කළ හැකි බව එයින් ඇඟවිණි.

සිදුවිය හැකි මෙම වෙනස තේරුම්ගත යුත්තේ, අතීතයේ සිවිල් සමාජ කණ්ඩායම් අත්විඳ ඇති තත්වයන් සැලකිල්ලට ගනිමිනි. ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය ඇතුළු පෙර පාලනයන්, බොහෝදුරට වචන හරහා වුවද, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය හරහා සිවිල් සමාජ සංවිධාන දැඩි ලෙස විවේචනය කිරීමෙන් කටයුතු ආරම්භ කළහ. එහෙත් ඉක්මණින්ම, එම පාලනයන් සිවිල් සමාජ කණ්ඩායම්වලට සාකච්ඡා සඳහා ආරාධනා කළහ. විශේෂයෙන් අන්තර්ජාතික ප්‍රජාව සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ට උදව් අවශ්‍ය වූ විට එසේ කළහ. ඊට වෙනස්ව, ජාතික ජන බලවේග පාලනය මෙතෙක් තම සැලසුම් තමන් තුළම තබාගැනීමට කටයුතු කර ඇත. ආණ්ඩුව සිවිල් සමාජ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමක් හෝ ඔවුන්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීමක් සිදුකර නැත. මෙමගින් ජාතික ගැටළු විසඳීමට දායකවීමට සිවිල් සමාජයට ඉඩක් ලබා දෙයිද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවක් ඇති කර තිබේ.

යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සංගමය, ජාතික සාම මණ්ඩලය සහ නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය විසින් සංවිධානය කරන ලද 1325 උත්සවයේදී අමාත්‍ය හේරත් පැවසුවේ, ගැටළු විසඳීම සඳහා සිවිල් සමාජය සමඟ කටයුතු කිරීමට රජය සූදානම් බවයි. පළමු වසර තුළ රජය සහ සිවිල් සමාජය අතර පරතරය ඇති වූයේ, රජය රටේ නව දිශානතිය සඳහා අඩිතාලම දැමීමේදී කාර්යබහුල වූ නිසා බව ද ඔහු පැහැදිලි කළේය. ඔහුගේ පැහැදිලි කිරීම, මෙතෙක් පැවැති සීමිත සහභාගීත්වය, ස්ථිර නොවන තාවකාලික අවධියක් පමණක් බවට ජනතාවට බලාපොරොත්තුවක් ලබාදුන්නේය.

කාන්තාවන් සඳහා රජය ගන්නා නව පියවර පිළිබඳව ද අමාත්‍ය හේරත් පැහැදිලි කළේය. ගෘහස්ථ හිංසනය වැළැක්වීම සඳහා රජය නව නීති සම්මත කර ඇති අතර, ජාතික කාන්තා කොමිසමක් පිහිටුවා ඇත. මෙම පියවර පෙර පාලනයන් විසින් යෝජනා කරන ලද නමුත් ඒවා පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීමට නොහැකි විය. මෙම ජයග්‍රහණ ධනාත්මක සලකුණු වේ. කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා දිගු කලක් ප්‍රමාද වූ කැපවීම්, වසර ගණනාවක් තිස්සේ නිම නොකළ කැපවීම්, සම්පූර්ණ කිරීමට රජය සූදානම් බව ඒවායින් පෙන්නුම් කෙරේ.

UNSCR 1325 යෝජනාව

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 වැනි යෝජනාව මගින් පවසන්නේ, සාමය සහ සංහිඳියාව සඳහා වන උත්සාහයන්හිදී කාන්තාවන්ට වඩා ශක්තිමත් කාර්යභාරයක් පැවරිය යුතු බවයි. කාන්තාවන් යුද්ධය සහ ගැටුම් අත්විඳින්නේ පිරිමින්ට වඩා වෙනස් ආකාරයකින් බවත්, ගැටුම්වලින් පසු සමාජ නැවත ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා, සාමය ගොඩනැගීම සහ තීරණ ගැනීමේදී ඔවුන්ට සැබෑ හඬක් තිබිය යුතු බවත් එමගින් පිළිගනී. යුද්ධය සහ සාමය පිළිබඳ තීරණ ගන්නා සෑම මට්ටමකටම කාන්තාවන් ඇතුළත් කරන ලෙස යෝජනාව රජයන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාව සඳහා, 1325 යෝජනාව වැදගත් වන්නේ, කාන්තාවන් යුද්ධයේ බරින් වැඩි ප්‍රමාණයක් දරා ඇති නමුත් නිල සාමය සහ පාලන ක්‍රියාවලීන්හි තවමත් ඔවුන්ගේ සුළු සහභාගිත්වයක් ඇති බැවිනි.

උත්සවයේ ප්‍රධාන කථිකයෙකු වූ මහාචාර්ය දීපිකා උඩගම, අද අන්තර්ජාතික නීතිය සැමවිටම අනුගමනය නොකරන ආකාරය ගැන කතා කළාය. නූතන සන්නද්ධ ගැටුම්වලදී මිය න පුද්ගලයන් හතරදෙනෙකුගෙන් තිදෙනකු පමණ කාන්තාවන් සහ ළමුන් බව අධ්‍යයනවලින් පෙනීයන බව ඇය පෙන්වාදුන්නාය. එහෙත් සාම සාකච්ඡාකරුවන් දසදෙනකුගෙන් එක් අයකු පමණක් කාන්තාවන් බව ඇය පැවසුවාය. යුද්ධවලදී කාන්තාවන් ඉතා අවධානමට ලක්වන බවත්, සාම තීරණ ගැනීමේදී කාන්තාවන්ට භූමිකාවක් ලබාදීමේදී තවමත් විශාල පරතරයක් පවතින බවත් මෙම සංඛ්‍යාවලින් පෙනීයයි.

ලෝකය සහයෝගීතාවයේ මූලික නීති, බෙදාගත් ගිවිසුම් සහ අන්තර්ජාතික ආයතන හරහා ආරවුල් විසඳීම වෙනුවෙන් ක්‍රියාකරනු ලබයි. මෙම ක්‍රමය පරිපූර්ණ නොවන නමුත් බොහෝ රටවල් එම නීති අනුගමනය කරයි. අද වනවිට, බෙදාගත් වගකීම පිළිබඳ එම හැඟීම දුර්වල වෙමින් පවතී. බලවත් රටවල් බොහෝවිට ක්‍රියාකරන්නේ ගෝලීය නීති සහ බලධාරීන් නොසලකා හරිමින් තමන්ගේම අවශ්‍යතා මතය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගැටුම් අඩුකිරීමට සහ රටවල් තම පොරොන්දු ඉටුකරන බව සහතික කිරීමට උපකාරී වූ නීති රීති අඩුවෙන් අනුගමනය කරන අතර, එමඟින් ලොව පුරා අවුල් සහගත හැඟීමක් ඇතිව තිබේ.

මෙම තත්ත්වය තුළ, වසර අවසානයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය පුරප්පාඩු වීමත් සමඟ, ඊළඟ එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයට කාන්තාවක් පත්වීමේ අදහසට ශ්‍රී ලංකාව සහාය දිය යුතු බව මහාචාර්ය උඩගම යෝජනා කළාය. විශේෂයෙන් UNSCR 1325 යෝජනාවේ ඉලක්කවලට අනුකූලව, කාන්තාවන් ගෙනඑන අත්දැකීම් සහ ඉදිරි දර්ශනවලින් ගෝලීය නායකත්වයට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ඇය තර්ක කළාය. සියල්ලන් ඇතුළත් අන්තර්ජාතික පද්ධතියක් සඳහා ඇති කැපවීම පෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට මෙම අදහස ප්‍රවර්ධනය කළ හැකි බවද ඇය පැවසුවාය.

එහෙත් පළමුව, ශ්‍රී ලංකාව තුළ සහ දකුණු ආසියාවේ බොහෝ ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන කාන්තාවන් කෙරෙහි ඇති දැඩි පුරුෂ ආධිපත්‍යය ආමන්ත්‍රණය කළ යුතුය. පුරුෂාධිපත්‍යය යනු පිරිමින් වැඩි බලයක් දරන ක්‍රමයක් ලෙස තේරුම්ගත හැකි අතර, එහිදී කාන්තාවන් නායකත්වය දීමට වඩා සහාය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිරිමින්ට වඩා සාක්ෂරතාවෙන් යුක්ත වුවද සහ ශ්‍රී ලංකාව ලෝකයේ පළමු කාන්තා අගමැතිනිය තෝරා පත්කර ගත්තද, රාජ්‍ය කටයුතුවලදී සහ තීරණ ගැනීමේදී කාන්තාවන්ට තවමත් ඇත්තේ ඉතා සුළු කාර්යභාරයකි.

ගැටළු විසඳීම

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පාර්ලිමේන්තුවේ අඩුම කාන්තා නියෝජනයක් ඇති රටවලින් එකක් වන අතර, එය මාලදිවයිනට වඩා තරමක් වැඩිය. අගමැතිනිය කාන්තාවක් වුවද, සාමාජිකයන් 23 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් සිටින්නේ තිදෙනකු පමණක් බැවින් ඔවුන් ඉතා සුළුතරයක් බවට පත්ව ඇත. පළාත් පාලන මට්ටමින්, 25% කෝටාව කාන්තාවන් එම ආයතනවල සිටින බව සහතික කරයි. එහෙත් ඔවුන්ට කවුන්සිලවල සැබෑ බලය අල්පය. සමානුපාතික නියෝජන ක්‍රමය හරහා තේරී පත්වූ බොහෝ කාන්තාවන් විපක්ෂයේ සිටින අතර, එයින් අදහස් වන්නේ, පළමුව පුරුෂ ආධිපත්‍යය සහිත සමාජයක කාන්තාවන් ලෙස සහ දෙවනුව විපක්ෂ මන්ත්‍රීවරියන් ලෙස ඔවුන් දෙවරක් බල රහිත කරනු ලබන බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරිය ලෙස කාන්තාවකට සහාය දැක්වීමේ මහාචාර්ය උඩගමගේ අභියෝගය භාරගැනීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකාව මෙම බාධක ආමන්ත්‍රණය කළ යුතුය. රට මුලින්ම තමන්ගේම ගැටළු රට තුළදීම විසඳාගත යුතුය. සෑම මට්ටමකම තීරණ ගැනීමේ තනතුරු සඳහා වැඩි කාන්තාවන් පිරිසක් සිටිය යුතුය. ශ්‍රී ලංකාව රට තුළ සමානාත්මතාව පිළිබඳ ප්‍රගතියක් ලබානොගන්නේ, නම් ලොව පුරා සමානාත්මතාව ඉල්ලා සිටීම කුහකකමක් ලෙස පෙනෙනු ඇත.

1325 යෝජනාව පිළිබඳ උත්සවයේදී අමාත්‍ය හේරත් පැවසුවේ, තීරණ ගැනීමේ තනතුරුවලින් තුනෙන් එකක් කාන්තාවන් විසින් දැරීම රජයේ අරමුණ බවයි. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කැපවීම පෙන්වීමට එක් ක්‍රමයක් වනුයේ කාන්තාවන් සඳහා 25% ක කෝටාවක් ඇතුළත් නව පළාත් සභා මැතිවරණ ක්‍රමය ඉක්මණින් සම්මත කිරීමයි. කෙසේවෙතත්, මෙම මැතිවරණය සැබවින්ම පැවැත්වෙන්නේ කවදාද යන්න පැහැදිලි නැත. මැතිවරණ කොට්ඨාශ නැවත නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සියලු පක්ෂ එකඟ වී නොමැති බව පවසමින්, වත්මන් ආණ්ඩුව පෙර ආණ්ඩුවල උපායමාර්ගය අනුගමනය කර මැතිවරණ ප්‍රමාද කිරීම දිගටම සිදුකරනු ඇති බවට කනස්සල්ලක් පවතී.

ජාතික ජන බලවේග ආණ්ඩුව අතීතයෙන් වෙනස්වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරන අතර, අතීතයේදී ආණ්ඩු බොහෝ විට ජනතාවගේ යහපත සඳහා නොව තමන්ගේම යහපත වෙනුවෙන් ක්‍රියාකළේය. දැන්, මෙතෙක් තීරණ ගැනීමෙන් ඉවත්කරන ලද කණ්ඩායම් දෙකක් ඇතුළත් කිරීමට පළාත් සභා ක්‍රමය උපයෝගී කරගත හැකිය. පළමු කණ්ඩායම වන්නේ උතුර, නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ ජනවාර්ගික සුළුතරයන් වන අතර, ඔවුන් බහුතරයක් හෝ ජනගහනයෙන් විශාල කොටසක් සිටින පළාත්වල ඔවුන්ට නියෝජනයක් ලබාදිය හැකිය. දෙවැනි කණ්ඩායම කාන්තාවන් වන අතර, ඔවුන් 25% කෝටාවෙන් ප්‍රතිලාභ ලබනු ඇත. මෙම කණ්ඩායම් දෙක බලගැන්වීම සහ ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම සමස්තයක් ලෙස සමාජය ශක්තිමත් කරන අතර, අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය වැඩිදියුණු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website