අපි ඩිජිටල් රාජ්‍යකරණයක් වෙත යන්නේ මේ රටේ ජනතාවගේ යහපත සහ අභිවෘද්ධිය වෙනුවෙන් – ඉන්දික ගමගේ – උපදේශක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය

  • ජාතික ජන බලවේගය රජය ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් මේ තරම් උනන්දුවක් දක්වන්නේ ඇයි ?, මේ සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හා දැක්ම කුමක් ද ?

‘ඩිජිටල් රාජ්‍යකරණයක්’ යන තේමාව යටතේ අපේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට ප්‍රධාන මූලධර්ම හයක් යටතේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ මූලධර්ම වන්නේ, නවොත්පාදන මත පදනම් වූ අඛණ්ඩ වර්ධනය, ඩිජිටල් රාජ්‍යකරණය, ලංකා වෙළෙඳනාම නැවත සන්නාමකරණය,  ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ, උසස් තාක්ෂණයන්, හොඳම භාවිතයන් සහ නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල යටිතල පහසුකම් යන්නයි. මෙම මූලධර්ම මත පදනම්ව අපි අ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ස්ථාපිත කර තිබෙනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මෙහෙවර වන්නේ, සමාජීය හා කාර්මික පරිවර්තනය තුළින් තාක්ෂණික දියුණුව, නවෝත්පාදනය සහ සංවර්ධනය යන ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තාක්ෂණය පදනම් කරගත් ප්‍රතිපත්ති, උපාය මාර්ග, ප්‍රමුඛතා, වැඩසටහන්, සැලසුම් සහ මාර්ගෝපදේශ නිර්මාණය කිරීම සහ පුනර්ජීවනය කිරීමයි.

  • ඩිජිටල් රාජ්‍යකරණයක් හරහා ආර්ථිකයට සහ ජනතාවට හිමිවන ප්‍රතිලාභ මොනවාද ?

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් ඍජුව ප්‍රතිලාභ ලැබෙන්නේ මෙරට සාමාන්‍ය ජනතාවටයි. එසේම ඔවුන්ගේ සේවාවන් වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීම, නාස්තිය සහ දූෂණය පිටු දැකීම රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය හරහා ජනතාව ලැබෙන ප්‍රතිලාභ අතර ඉහළින්ම තිබෙනවා.

මේ රටේ ජීවත් වන සියලුම ජනතාවට වඩා වේගයෙන් රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි, ඒ වගේම ලෝකයේ වෙනත් රටවල් කරලා තිබෙන ආකාරයට අලුත් සේවාවන් හඳුන්වා දීමට අපි පියවර ගත යුතුයි. ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය හරහා ඒ සඳහාත් පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඩිජිටල් ආර්ථිකය හරහා ලංකාවට දැවැන්ත විදේශ විනියම ප්‍රමාණයක් ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. 2030 වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා ඍජුව ඩොලර් බිලියන පහක් උපයා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මේ කර්මාන්තය සංවර්ධනය කිරීමට අපි සියලු සැලසුම් සකස් කර තිබෙන අතර ඒවා මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. විශේෂයෙන් මේ ක්ෂ්ත්‍රයට ලක්ෂ දෙකකට අධික වෘත්තිකයින් පිරිසක් අවශ්‍ය වෙනවා, මේ වෘත්තිකයින් බිහි කිරීමට අදාළ පියවර අපි ගෙන තිබෙනවා.

  • මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන විට අභියෝග නිර්මාණය වෙනවා නේද ? ඒවා විසීමට පියවර ගෙන තිබෙනවා ද ?

ඔව්, සමස්ත ආර්ථිකයක්, රටක් ඩිජිටල්කරණය වන විට නොසිතූ අභියෝග උද්ගත විය හැකියි. විශේෂයෙන් ඩිජිටල් ආරක්ෂාව, දත්ත ආරක්ෂාව සම්බන්ධ ගැටලු හා අභියෝග මතුවිය හැකියි. අපි ඒවා වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා.

  • ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීමේ දී ගෝලීය තරකාරීත්වය ප්‍රධාන අභියෝගයක් නේ ද ?

ඩිජිටල් ආර්ථිකය තුළ වඩාත් තරඟකාරීත්වයක් තිබෙන්නේ වඩාත් හොඳ නිෂ්පාදන සහ සේවාවන්වලටයි. නිෂ්පාදනයේ හෝ සේවාවේ  ගුණාත්මකභාවය සහ මිල අඩුවීම මෙහිදී තීරණාත්මක වෙනවා. ඒ වගේම තවත් වැදගත් කරුණක් තිබෙනවා, ගෝලීය වශයෙන් තිබෙන ඉල්ලුමට සාපේක්ෂව සැපයුමක් මේ ක්ෂේත්‍රය තුළ නැහැ. ඒ නිසා මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්න, දියුණුව කරා යන්න අවශ්‍ය තරම් අවස්ථා අපට තිබෙනවා. ඒ අනුව තරඟය තිබෙන්නේ අප සමඟමයි, අප තුළමයි. ලෝකයට ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුත් නිෂ්පාදන සහ සේවාවන් ලබා දෙන්න පුළුවන් නම් අපට පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්.

ඒ වගේම ඩිජිටල් සේවාවන් සහ නිෂ්පාදන සම්බන්ධයෙන් අපි අපේ සන්නාමයක් නිර්මාණය කරගත යුතුයි, ඒය ගෝලීය වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කළ යුතුයි. මේ වන විට අපේ රට, කොළඹ ස්ථානගත වෙලා තිබෙන්නේ සන්නාමයක් ලෙස නොවෙයි, බාහිර සේවා සපයන ස්ථානයක් ලෙසයි. ඒ කියන්නේ Silicon Valley හෝ ඉන්දියාවේ හයිද්‍රාබාද් වගේ තත්ත්වයක් අපට, කොළඹට නැහැ. ඒ නිසා තමයි අපේම සන්නාමකරණයක් වෙත අපි දැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. මෙහිදී ලංකා වෙළෙඳ නාමය නැවත සන්නාමකරණය ඉතා වැදගත්.

  • මේ අභියෝගයට මුහුණ දීමට රජය පමණක් පුළුවන් ද ?, පුද්ගලික අංශයේ සහාය අවශ්‍ය නැද්ද ?

ඉතාම අවශ්‍යයි. මේ ගමන යන්න ඔවුන් අප සමඟ අත්වැල් බැඳ ගත යුතුයි. ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟයක් දෙන්න පුළුවන් මහා විශාල සමාගම් කිහිපයක් හෝ අපි ස්ථාපිත කරගත යුතුයි. ආරම්භක සමාගම් දහස් ගණනකට උපකාර කළොත් අවසානයේ ඩොලර් මිලියන ගණනක ආදායම් උපයන දැවැන්ත දේශීය සමාගම් කිහිපයක් බිහිකර ගත හැකියි. අපි උත්සාහා කරන්නේ මෙවැනි ඉහළ ආදායමක් උපයා ගන්න පුළුවන් සමාගම් කිහිපයක් හෝ බිහිකර ගැනීමටයි. ඒ හරහා පමණයි අපට අපේම සන්නාමයක් ජාත්‍යන්තරයට ගෙන යාමට හැකියාව ලැබෙන්නේ. ඒ වෙනුවෙන් Sri Lankan Solutions කියන නම ස්ථාපිත කර ගැනීමට අපට අවශ්‍යයි.

  • මේ සම්බන්ධයෙන් රජයට වැඩපිළිවෙළක් තිබෙනවා ද ?

අපි දැනටමත් ජාත්‍යන්තර ඩිජිටල් වෙළඳපොළ තුළ නමක් දිනා ගෙන සිටිනවා. බොහෝ ජාත්‍යන්තර සමාගම් එම ආයතනය සමඟ කටයුතු කරනවා. නමුත් ඔවුන් රටේ සන්නාමයෙන් අපිව හඳුනා ගන්නවා දැකීමයි අපේ අපේක්ෂාව වෙන්නේ. ඒ නිසා ලෝකයේ විශාල පිරිසක් දන්න, භාවිතා කරන නිෂ්පාදන සහ සේවා වෙත අපි අවධායන යොමු කළ යුතුයි. අපි විශේෂඥතාව වර්ධනය කරගත යුතු ක්ෂේත්‍ර ගණනාවක් හඳුනා ගෙන තිබෙනවා. අපිට අවශ්‍යයි ලෝකය මේ වෙලාවේ ඉල්ලන විසඳුම්වලට යන්න. ඒ හරහා අපේ සන්නාමකරණය තව දුරටත් පහසු වෙනවා.

  • තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ බුද්ධිගලනය, විශේෂයේ මේ ක්ෂේත්‍රයේ විශේෂඥතාව ලත් තරුණයින් රට හැර යාම මේ අරමුණු ජයග්‍රහණය කිරීමට බාධාවක් නේද ?

බුද්ධිගලනය, තරුණයින් රට හැර යාම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පමණක් නොවෙයි රටේ සෑම ක්ෂේත්‍රයකටම බලපාන පොදු ගැටලුවක්, අභියෝගක්ව තිබෙනවා. තරුණයින්, වෘත්තිකයින් මේ රට හැරදාලා යන්නේ ඔවුන්ට මේ රට තුළ ජීවත් වීමට කිසිම බලාපොරොත්තුවක් නැති නිසා, අවස්ථා නැති නිසා. මේ රටේ වෘත්තිකයින් තුළ, තරුණ ප්‍රජාව තුළ බලාපොරොත්තු ඇති කිරීම අපේ රජය හමුවේ තිබෙන ප්‍රධාන අභියෝගයක්. අපි ඒක ජය ගනිමින් සිටිනවා. ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය, වැටුප සහ වෘත්තීය සුරක්ෂිතභාවය අපි රට තුළ යළි තහවුරු කරමින් සිටිනවා. පොහොසත් රටක් තුළ ලස්සන ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට ඇති කැමැත්ත සහ ආසාව අපි ඉටුකරනවා. ඒ වගේම තරුණ ප්‍රජාව රට තුළ අලුත් ව්‍යාපාරික සහ ව්‍යවසායක අවස්ථා නිර්මාණය කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. ලස්සන ජිවිතයක් ගත කරන්න මවුබිම හැර දා යා යුතුම නැහැ. මේ රට තුළ ඔවුන්ගේ ඒ ලස්සන සිහින ජය ගන්න පුළුවන් පරිසරයක් සහ ආර්ථිකයක් අපි බිහි කරනවා.

  • ඩිජිටල්කරණය ගැන කතා කරන විට තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ගැන කතා නොකරම බැහැ. මේ සම්බන්ධයෙන් රජයට යම් තක්සේරුවක් තිබෙනවාද ?

ඔව්, මේ සම්බන්ධ විශ්වවිද්‍යාල සහ තවත් ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මේ ආයතන බහුතරයක සුදුසුකම්ලත් ආචාර්යවරුන් සහ අවශ්‍ය පහසුකම් නැහැ. මේ තත්ත්වය තුළ පාඨමාලාව අවසන් කිරීමට කාලයක් ගත වීම ඇතුළු ගැටලු ගණනාවක් තිබෙනවා.

  • ලංකාවේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ දී මුහුණ දිමට සිදුවන අභියෝග සහ ගැටලු මොනවාද ?

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රධාන අභියෝග ගණනාවක් තිබෙනවා. එහි ප්‍රධානතම අභියෝගය තමයි රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය කරන යටිතල පහසුකම් ප්‍රමාණවත් තත්ත්වයක නැහැ. මේ ක්‍රියාවලිය ප්‍රමාද වීමට එය ප්‍රබල බාධාවක්ව පවතිනවා. රාජ්‍ය සේවය සතු පරිගණක පද්ධතිය අවුරුදු 10-15ක් පමණ පැරණි, යල්පැන ගිය ඒවා, මේවට අලුත් මෘදුකාංග ඇතුළත් කරන්න බැහැ. අලුත් තාක්ෂණය එක්ක වැඩ කරන්න බැහැ. නමුත් මේ සියල්ල ඉවත් කරලා අලුත් පරිගණක ලබා දෙන්න අපට හැකියාවකුත් නැහැ. මේ තත්ත්වය තුළ Cloud Solution එකක වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ ධාරිතාවය වර්ධනය කිරීම වැනි පියවර ගණනාවකුත් ගන්න සිදුවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් නිලධාරීන් පුහුණු කිරීම ඇතුළු වැඩසටහන් ගණනාවක් අපි මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටිනවා.

  • රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප මේ වැඩපිළිවෙළට දක්වන දායකත්වය කොහොමද ?

අපි දන්නවා රාජ්‍ය සේවකයින් පමණක් නොවෙයි පුද්ගලික අංශය පවා නවීන තාක්ෂණයට බියක් සහ අකමැත්තක් දක්වනවා. ඔවුන් හිතනවා නවීන තාක්ෂණය හරහා ඔවුන්ගේ රැකියා අහිමි කරනවා කියලා. මේක පරිගණයක හඳුන්වා දුන් 1990 දශකයේ මුල් යුගයේ දීත් තිබුණා. නමුත් අපි ඔවුන්ට කියන්නේ ඩිජිටල්කරණය හරහා ඔවුන්ගේ රැකියාව අහිමි වීමක් සිදුවෙන්නේ නැහැ, එහි හැඩය වෙනස් වීම පමණයි සිදුවෙන්නේ. අපි මේ ආකල්ප වෙනස ඇති කිරීම වෙනුවෙන් මේ වන විට රට පුරා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කෘත්‍රිම බුද්ධිය හරහා රැකියා අහිමි වීමක් කිසිසේත් සිදු නොවන බව අපි ඔවුන්ට කියා දෙනවා. කෘත්‍රිය බුද්ධිය හරහා ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවයක් ලබා දෙන්න පුළුවන් ආකාරය අපි ඔවුන්ට කියා දෙනවා.

  • රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ දී ඔබ විසින් හුනා ගත් සෙසු ගැටලු මොනවාද ?

තවත් ප්‍රධාන ගැටලුවක් තමයි ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණ සේවාවන් සපයා ගැනීම වෙනුවෙන් විවිධ ආයතන සමඟ ගිවිසුම්ගත වෙලා සිටිනවා. එම ගිවිසුම් කාලය සහ කොන්දේසි අවසන් වන තෙක් අදාළ ආයතනවල වෙනස්කම් කිරීම ගැටලුකාරී වෙලා තිබෙනවා. අලුත් තාක්ෂණය හඳුන්වා දීම මේ හේතුව නිසා ගැටලුකාරී වෙලා තිබෙනවා.

  • රාජ්‍ය ඩිජිටල්කරණය කිරීම තුළ Cyber ​​security සහ දත්තවල ආරක්ෂාවට කුමක් ද සිදුවෙන්නේ ?, මේ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු වෙලා තිබෙනවා ද ?

Cyber ​​ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් විට ජනතාවගේ දත්ත අහිමි වීමේ හා වෙනත් පාර්ශ්ව විසින් අත්පත්කර ගැනීම, සොරා ගැනීම එක අවදානමක්. ඒ වගේම දත්ත පද්ධතිවලට ඇතුළත් වෙලා කරන වංචා කිරීම්, තර්ජනය කිරීම් ආදි Cyber ​​අපරාධ තිබෙනවා. අද ජනතාව වඩාත් ප්‍රවේශ වී සිටින සමාජ මාධ්‍යවල පවා පරිශීලකයින්ගේ දත්තවල ආරක්ෂාව, ඒවා භාවිතා කරන ආකාය සම්බන්ධයෙන් සහතිකයක් නැහැ. ඒ වගේම සමාජ මාධ්‍ය භාවිතා කරන ජනතාව නිතරම විවිධ මගඩිවලට අහුවෙනවා, ඔවුන්ගේ මුදල් වංචා කිරීම, සොරා ගැනීම, තර්ජනය කිරීම ආදිය සිදුවෙනවා. ඒ වගේම රටක් ලෙස සයිබර් ප්‍රහාර වැනි හේතු මත රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන ආදි පද්ධති බිඳ වැටීමක් සිදුවිය හැකියි, ජාතික ආරක්ෂාව පවා අනතුරක වැටෙන්න පුළුවන්. මේ නිසා ලෝකයේ සෑම රටක්ම සයිබර් ආරක්ෂාව වෙනුවෙන් විශේෂ උනන්දුවක් දක්වනවා.

  • මෙම අභියෝග ජය ගැනීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර මොනවාද ?

අපි ඉහත දක්වන ලද අභියෝග සහ ගැටලු මනාව හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා ඒවාට මුහුණ දීමට අවශ්‍ය සියලුම පියවර ගෙන තිබෙනවා, අවශ්‍ය නීති සම්පාදනය කිරීම, පනත් සංශෝධනය කිරීම, නව ආයතන ස්ථාපිත කිරීම ආදි අංශ ගණනාවක වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ අතර දත්ත ආරක්ෂණ අධිකාරිය, මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ කොමිෂම ස්ථාපිත කර තිබෙනවා. Online Safety Commission පනතේ තිබුණ අඩුපාඩු නිවැරදි කිරීමට පියවර ගෙන තිබෙනවා.  මෙහිදී තවත් වැදගත් කාරණයක් කිහිපත් කළ යුතුයි, මේ කිසිවක් හරහා ජනතාවගේ ආරක්ෂාවට, පුද්ගලිකත්වයට කිසිම ආකාරයක අගතියක් සිදුවෙන්නේ නැහැ.

  • සයිබර් ආරක්ෂාව සම්බන්ධ පනතක් ලංකාව තුළ ක්‍රියාත්මක ද ?

නැහැ, ලංකාව තුළ සයිබර් ආරක්ෂණ පනතක් මේ දක්වා සම්මත වෙලා නැහැ, ඒ වගේම සයිබර් ආරක්ෂණ අධිකාරියක් නැහැ. ඒ නිසා ඉදිරියේ දී මේ සම්බන්ධ පනත් සහ ආයතන ස්ථාපිත කිරීමට අපි පියවර ගන්නවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව මෙන් සයිබර් ආරක්ෂාව සම්බන්ධ විශේෂ පාලන ඒකකයක් ස්ථාපිත කිරීමට ද අපි සැලසුම් කර තිබෙනවා. ඒ හරහා ජනතාවගේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම පියවර අපි ගන්නවා.

  • රාජ්‍ය ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ඔබට තවත් වැදගත් පැහැදිලි කිරීමක් තිබෙනවා ද ?

සයිබර් ආරක්ෂාව ඇතුළු මේ නවීන තාක්ෂණ භාවිතයන් ගැන ජනතාව යම් පමණකට හෝ දැනුවත් විය යුතුයි. ඩිජිටල්කරණය, කෘත්‍රිම බුද්ධිය කියන්නේ රාස්සයෙක් නොවෙයි. හරියට ගින්දර වාගේ. පාලනයක් සහ විනයක් ඇතිව වැඩ කළොත් නොකර ගන්න බැරි දෙයක් නැහැ. අපේ මුතුන් මිත්තෝ ගින්දරට බල වෙලා ඒක අතහැරියා නම් අද මොකද වෙන්නේ ?, අන්න ඒ ගැන හිතන්න. කිසිම අවස්ථාවක නවීන තාක්ෂණයට බය වෙන්න එපා, ඒක විනයක් ඇතිව, පාලනයක් ඇතිව භාවිතා කරන්න. අපි ඩිජිටල් රාජ්‍යකරණයක් වෙත යන්නේ මේ රටේ ජනතාවගේ යහපත සහ අභිවෘද්ධිය වෙනුවෙන් මිස ඔවුන්ගේ නිදහස, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ අදහසින් නොවෙයි.

රතුඉර පුවත්පතේ 2025 නොවැම්බර් 23 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.

සටහන – භාතිය බරුකන්ද

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website