
අද තියෙන ප්‍රශ්න එදත් තිබුණා. ශ්‍රීලංකන් ගුවන් සමාගම ද ඇතුළු බොහෝ රාජ්‍ය ව්‍යවසායන් පතුලක් නැති බාල්දියක් වාගේ තිබුණේ. මේවා කළමනාකරණය කිරීම ඉතාම අසීරු සහ අභියෝගාත්මක වුණා. ඒ නිසා පාඩු ලබන මේ ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම කළ යුතුය යන ස්ථාවරයේ අපි හිටියා. නමුත් මහින්ද රාජපක්ෂ කඳවුර, ජනතා විමුක්ති පෙරමුණ මේ වැඩපිළිවෙළට දැඩිව විරුද්ධ වුණා. නමුත් අපි මේ ආයතන වාණිජකරණයට යොමු කළා, ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළා, වාණිජකරණයේ ස්වරූපය හදලා දුන්නා.
- අයවැය ලේඛනයක් කියලා කියන්නේ කුමක් ද ? යන්න සරලව පැහැදිලි කරමින් අපි සාකච්ඡාව ආරම්භ කරමු ද ?
යම් කාල පරිච්ඡේදයක් තුළ සංවිධානයක් කොපමණ මුදලක් උපයා ගැනීමට සහ වියදම් කිරීමට අපේක්ෂා කරනවාද යන්න සහ එය තම මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න පෙන්වන සැලැස්මක් අයවැයක් කියලා සරල ලෙස විස්තර කරන්න පුළුවන්. ඒක තවත් කාලයක් සඳහා අදාළ වන ආකාරයට ආයතනික සැලසුමක / Corporate Plan කොටසක් ලෙස සම්පාදනය කරන්නේ. ආර්ථික ස්ථාවරභාවය, ජනතාවට ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රමාණය සහ සංවර්ධනාත්මක ගමන සම්බන්ධ තීන්දු අර ගෙන, වරප්‍රසාද සහ ප්‍රතිලාභ ලබා දෙන සැලසුමක් මේ තුළ අන්තර්ගත විය යුතුයි.
- 2015 දී බලයට පත් වුණ යහපාලන ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කළේ ඔබ. ඇතැම් අය කියනවා ඒක ‘රොබින් හුඩ්’අයවැයක් කියලා. මේ ගැන ඔබේ මතකය යළි අවධි කළ හැකි ද ?
ඔව්, යහපාලන ආණ්ඩුවේ මංගල අයවැය ලේඛනය සකස් කරන විට අපේ හිතේ තිබුණ ප්‍රධාන සංකල්පය තමයි ජනතාව සවිබල ගැන්වීම කළ යුතුයි කියන එක. 2015 දී අපි රට භාර ගන්න කොට ආර්ථිකය යහපත් තත්ත්වයක තිබුණේ නැහැ. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.5%ක තිබුණේ. ඒක 15% දක්වා වැඩිකර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබුණා. අපේ මංගල අයවැයෙන් ලංකා ඉතිහාසයේ මෙතක් ලබා දුන් ලොකුම සහන ජනතාවට ලබා දෙන්න අපට පුළුවන්කම ලැබුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය සේවකයින්ට වැඩිම වැටුප් වැඩිවීමක්, රුපියල් 10,000ක් ලබා දෙන්න අපට පුළුවන් වුණා. ගෑස්, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 15ක මිල විශාල ලෙස අඩු කිරීමට අපට පුළුවන්කම ලැබුණා.
- අයවැය සකස් කිරීමේ දී මුදල් අමාත්‍යවරයා ලෙස ඔබ ලැබූ අත්දැකීම් මොනවාද ?
මම මුලින් කිව්වා වාගේ අපි රට භාර ගන්න කොට සමස්ත ආර්ථිකයම ඉතාම අයහපත් තත්ත්වයක තිබුණේ. ජනතාව කඩිනම් සහන බලාපොරොත්තු වුණා. ජනාධිපතිවරණය තිබුණේ 2015 ජනවාරී 08 වැනිදා. කැබිනට් මණ්ඩලය පත් වුණේ ජනවාරී 12 වැනිදා. ජනවාරී 30 වැනිදා අපි අතුරු සම්මත අයවැයක් ඉදිරිපත් කළා. මේ අතුරු සම්මත අයවැයෙන් අපි ජනතාවට ලබා දුන්න පොරොන්දු වලින් 85%ක් පමණ ඉටු කිරීමට සමත් වුණා. ඒ වගේම අපි දැඩි තීරණ ගත්තා. ආණ්ඩුව යම්කිසි වැය බරක් දරනවා නම් ඒක ආදායමක් උපයා ගැනීම තුළින් කළ යුතු බව අපේ ස්ථාවරය වුණා. ඒ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන අපි දැඩි අවධානයක් යොමු කළා. අපි වඩාත් ශක්තිමත් දැක්මක් එක්ක ගමන ආරම්භ කළා. නමුත් ඔබ දන්නවා අපට හුස්ම ගන්නවත් ඉඩක් ලැබුණේ නැහැ. විපක්ෂය අඛණ්ඩව බාධා කළා, චෝදනා කළා, අපේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කළ හැකි සෑම දෙයක්ම කළා. නමුත් ඒක දේශපාලනයේ ස්වභාවය නිසා අපි කලබල වුණේ නැහැ. ඒ නිසා යහපාලන ආණ්ඩුවේ මංගල අයවැය හරහා නිර්මාණය කළ ශක්තිමත් පදනම තුළින් ඉදිරි වසර පහ තුළ ම ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වුණා.

- මෙවැනි තීරණාත්මක පියවර ගැනීමේ දී මුදල් අමාත්‍යවරයා ලෙස ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද ?
මේ වන විට රාජ්‍ය ආදායම බරපතළ ලෙස අඩු වී තිබුණ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරලා තිබුණා. රට බංකලොත් නොවුණත් ඊට ආසන්න තත්ත්වයකයි රට තිබුණේ. අපට දැඩි මූල්‍ය විනයක් සහිතව තමයි අයවැය ලේඛනය සකස් කරන්න සිදු වුණේ. ඒක ඉතාම අසීරු කාලයක්. නමුත් මුදල් අමාත්‍යාංශයට ඉතාම හොඳ ලේකම්වරයෙක් පත්ව සිටියා, ඒ වගේම අධ්‍යක්ෂ ජනරාල්වරු 17 දෙනාම අති දක්ෂ නිලධාරීන්. ඔවුන් සියලු දෙනාම මට සහයෝගය ලබා දුන්නා. ඔවුන් ආණ්ඩුවේ අරමුණු හා දැක්ම ගැන මනා වැටහීමකින් හිටියා. ඒ නිසා ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා.
- ශ්‍රීලංකන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩල වැනි දැවැන්ත පාඩුවක් ලබමින් සිටි රාජ්‍ය ව්‍යවසාය අයවැය සම්පාදනයේ දී යම් බලපෑමක් කළා ද ?
අද තියෙන ප්‍රශ්න එදත් තිබුණා. ශ්‍රීලංකන් ගුවන් සමාගම ද ඇතුළු බොහෝ රාජ්‍ය ව්‍යවසායන් පතුලක් නැති බාල්දියක් වාගේ තිබුණේ. මේවා කළමනාකරණය කිරීම ඉතාම අසීරු සහ අභියෝගාත්මක වුණා. ඒ නිසා පාඩු ලබන මේ ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම කළ යුතුය යන ස්ථාවරයේ අපි හිටියා. නමුත් මහින්ද රාජපක්ෂ කඳවුර, ජනතා විමුක්ති පෙරමුණ මේ වැඩපිළිවෙළට දැඩිව විරුද්ධ වුණා. නමුත් අපි මේ ආයතන වාණිජකරණයට යොමු කළා, ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළා, වාණිජකරණයේ ස්වරූපය හදලා දුන්නා.
- සමෘද්ධිය හෝ අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ වියදම් අයවැය සම්පාදනයේ දී බලපාන්නේ කොහොමද ?, මේ වියදම් අයවැයට බරක් ද ?
සාමාජ ආරක්ෂණ වියදම් සම්බන්ධයෙන් අපි මානුෂීය ආකල්පයක් දැරුවා. අපි කවුරුත් දන්නවා අපේ සමාජයේ යම් පිරිසක් ජීවත් වීමට විශාල අරගලයක් කරනවා. අපි ඔවුන් දෙස වඩාත් කාරුණිකභාවයක් දැක්විය යුතුයි, ඔවුන් ආරක්ෂා කරගෙන, ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් රාජ්‍ය වගකීම සහ වගවීම ඉටුකළ යුතුයි. විශේෂයෙන් අබාධිත පුද්ගලයින්, විවිධ හේතුමත දරිද්‍රතාවයට පත් වුණ පවුල්, වැඩිහිටියන් ඇතුළු ජනතාව රැක ගෙන පෝෂණය කිරීම ඕනෑම ආණ්ඩුවක වගකීමක් ලෙස මම දකිනවා. මේක ලංකාවට පමණක් ආවේණික ගැටලුවක් ද නොවෙයි. මුළු ලෝකයම රාජ්‍ය රැකවරණයට අවශ්‍ය පුද්ගලයින්ට ගෞරවනීය ලෙස සලකනවා, ඔවුන්ව රැක බලා ගන්නවා.
- ඒත් මෙවැනි වැඩපිළිවෙළවල විශාල ගැටලු සහ දුර්වලතා තිබෙනවා නේද ?
ඔව්, බොහෝ විට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින්ට එවැනි ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙවැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් දේශපාලන අරමුණු වෙනුවෙන්, දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් යොදා ගැනීම අපරාධයක්. ඒ වගේම මෙවැනි වැඩපිළිවෙළවල් තුළ සිදු වන අක්‍රමිකතා පිටුදැකීම අසීරුයි. අපිටත් ඒක කර ගන්න නො හැකි වුණා. අනවශ්‍ය පුද්ගලයින්ට මෙවැනි ප්‍රතිලාභ ලැබීමට සහ ලබා දීම පසුගිය කාලය පුරාම සිදු වුණ දෙයක්. මෙවැනි හේතු නිසා තමයි සමාජ වෛරයක් නිර්මාණය වෙන්නේ. අපි මේක නතර කරන්න වැඩපිළිවෙළක් ආරම්භ කළත් එය සාර්ථක වුණේ නැහැ.
- ඔබටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් ගන්න සිද්ධ වුණා ද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දැඩිව බලපෑම් කළා, හිංසා පීඩා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුලට යම් යම් ඉලක්ක තිබෙනවා. නමුත් ඒ ඉලක්ක ප්‍රායෝගික විය යුතුයි. ඔවුන් අපිත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. නමුත් ඔවුන් ඉතාම ඉක්මනින් අපේ අරමුණු සහ දැක්ම වටහා ගත්තා. අපි මානුෂික අරමුණකින්, ප්‍රායෝගිකව කටයුතු කරන බව ඔවුන් අවබෝධ කර ගත්තා.
- අයවැයක් සම්පාදනය කරන විට ව්‍යාපාරික ප්‍රජාව වෙතින් බලපෑම් එල්ල වෙනවා කියලා අදහසක් සමාජය තුළ තිබෙනවා. මේ ගැන ඔබට අත්දැකීම් තිබෙනවාද ?
ව්‍යාපාරික ප්‍රජාවෙන් යම් යම් ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. ඒවා අතර සමහර ඉල්ලීම් ඉතාම හොඳ ඒවා. ඒ වගේම හානිකර සහ තණ්හාවට ඉදිරිපත් කරන යෝජනාත් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවකට කරන්න බැරි දේවල් කියනවා. නමුත් අපි සමබරතාවයකින් කටයුතු කළොත් ව්‍යාපාරික ප්‍රජාව මනාව කළමනාකරණය කර ගන්න පුළුවන්.
- රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරී තන්ත්‍රය සහ වෘත්තීය සමිති ඇතුළු බලපෑම් කණ්ඩායම් අයවැය සම්පාදනයේ දී බලපෑම් කරනවා ද ?
මම දකින ආකාරයට අපේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නය තමයි රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට ප්‍රමාණවත් රැකවරණයක් නොදීම. සමස්ත රාජ්‍ය සේවයකම එකම රාජ්‍ය සේවයක් ලෙස සැලකීමට වඩා රාජ්‍ය සේවයේ ප්‍රතිපත්තිමය තීන්දු – තීරණ ගන්න ඉහළ නිලධාරීන් ගැන අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඔවුන්ට නිසි ගෞරවය සහ පිළිගැනීම ලබාදිය යුතුයි. නමුත් අපි ඒක කළේ නැහැ. ඒ නිසා රාජ්‍ය සේවය කඩා ගෙන වැටුණා, රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට නිසි පිළිගැනීමක් ලබා දුන් ඉන්දියාව සාර්ථක වුණා. මම නැවත කියනවා රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන්ට ලබා දෙන වැටුප් වැඩිවීමක් හෝ වෙනත් පහසුකම් සියලුම රාජ්‍ය සේවකයින්ටම ලබා දෙන්න බැහැනේ.
- ඔබතුමාගේ අදහස අනුව මේ දක්වා හොඳම අයවැය ලේඛනය ඉදිරිපත් කළේ කවුද ?
එකක් කියලා කියන්න බැහැ, ගණනාවක් තිබෙනවා. 1978 දී, එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ මංගල අයවැය, මේක ඉදිරිපත් කළේ මුදල් ඇමති රොනී ද මැල් මැතිතුමා ඉතාම විශිෂ්ඨ අයවැයක් ලෙස මම දකිනවා. 2024 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැයත් ඉතාම තීරණාත්මක අයවැයක් ලෙස මම දකිනවා. ඒ වගේම යහපාන ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ 2016 දී මම ඉදිරිපත් කළ අයවැයත් ඉතාම අභියෝගාත්මක අයවැයක් ලෙස මම සලකනවා.
- අයවැය ගැන කතා කරද්දී ණය ගැනීම තීරණාත්මක වචනයක් වගේම බොහෝ විට දැඩිව විවේචනය වන වචනයක්. මේ ගැන අදහස් තිබෙනවා ද ?
ඔව්, ලංකාවේ අදහසක් තිබෙනවා, ‘ණය ගැනීම නොකළ යුතු දෙයක්, මහා වරදක් කියලා. නමුත් ආදායම් උපයා ගන්නා අදහසින් ණය ගැනීම කිසිසේත් අයහපත් දෙයක් වෙන්නේ නැහැ. නමුත් ණය වශයෙන් ගන්නා මුදල් නාස්ති කිරීම හෝ ඌණ උපයෝජනය නොකළ යුතුයි. එවැනි ණය රටට හානිකරයි.
- ජාතික ජන බලවේගය ආණ්ඩුව ඔවුන්ගේ දෙවැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. හිටපු මුදල් අමාත්‍යවරයෙක් ලෙස ඔබ මේ අයවැය දකින්නේ කොහොමද ?

මේ අයවැයේ සාධනීය ලක්ෂණ වගේම නිශේධනීය ලක්ෂණත් තිබෙනවා. මම දකින ආකාරයට මෙහි ඇති එක සාධනීය ලක්ෂණයක් තමයි 2015 සිට 2024 දක්වා බලයේ සිටි ආණ්ඩු විසින් ඉදිරියට ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම. ජාතින ජන බලවේගය ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් ලෙස සැලකුවත් ඔවුන් වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වේ නැහැ. ඒක හොඳ තත්ත්වයක්. නමුත් ගැටලු තිබෙනවා, ආදායම් උත්පාදන ක්‍රම ගැන නිවැරදි සහ විශ්වාසනීයභාවයක් නැහැ, වියදම් වල ප්‍රතිලාභ ගණනය කරන්නේ කොහොම ද? ගැන නිවැරදි හා විශ්වාසනීය තොරතුරු නැහැ. උදාහරණයක් ලෙස රාජ්‍ය සේවක නිවාස ණය යෝජනා ක්‍රමය ගන්න පුළුවන්. ආසන්න වශයෙන් රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් පමණ සිටිනවා. නමුත් රාජ්‍ය සේවක සහන ණය යෝජනා ක්‍රමයට මේ අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ රුපියල් මිලියන 500යි. මේක කිසිසේත් ප්‍රායෝගික මුදලක් නොවෙයි. මේ ආකාරයේ ප්‍රායෝගික සහ විශ්වාසනීය නොවන අයවැය යෝජනා ගණනාවක් තිබෙනවා. ඒ වගේම රැකියා බිහි කිරීම ගැන කිසිම විශ්වාසනීය තොරතුරක් නැහැ, තරුණ ප්‍රජාව වෙනුවෙන් කිසිම වැඩපිළිවෙළක් නැහැ. මේ වාගේ අඩුපාඩු විශාල ප්‍රමාණයක් මම දකිනවා.
- ආණ්ඩුව කියන විදිහට මේක සංවර්ධනාත්මක අයවැයක්. ඔබ මෙහි සංවර්ධනාත්මක ලක්ෂණ දකිනවා ද ?
ඔව්, මෙවර අයවැයෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන්කරලා තිබෙනවා, ඒ වගේම සංවර්ධනාත්මක යෝජනා සහ සැලසුම් ද තිබෙනවා. කඩවල – මහනුවර අධිවේගී මාර්ගයේ තෙවැනි කොටස ඉදිකිරීම, ප්‍රජා ශක්ති වැඩසටහන, කෘෂි කර්මාන්තය සහ ආර්ථික ඩිජිටල්කරණය වෙනුවෙන් ගෙන ඇති පියවර අගය කළ හැකි තත්ත්වයක තිබෙනවා. ඒ වගේම පුනරාවර්තන වියදම් අධික ලෙස වැඩි නොකිරීමත් මෙහි විශේෂ ලක්ෂණයක්. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද යම් යම් සීමාවන් තුළ කටයුතු කළ තිබීමත් සාධනීය ලක්ෂණ ලෙස මම දකිනවා.
- ජනාධිපතිවරයා කියන ආකාරයට 7%ක ආර්ථික වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙයි ද ?
මේක කිසිසේත්ම සාක්ෂාත් කරගත නොහැකියි. ඉලක්ක දෙන්න පුළුවන්, ඒත් ඒ ඉලක්ක වෙත ගමන් කරන්නේ කොහොමද ?, බිලියන 1300ක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරලා කරන්න පුළුවන් දෙයක් නැහැ, ඒ වගේම 7%ක ආර්ථික වර්ධන වේගයක් වෙත යන්න පුළුවන් වැඩපිළිවෙළකුත් නැහැ. මගේ අදහස අනුව වත්මන් තත්ත්වය තුළ 3%ක හෝ 4%ක ආර්ථික වර්ධනයක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
- විදේශ සංචිත වර්ධනය කර ගැනීමට, එසේම නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීම වෙනුවෙන් මේ අයවැය තුළ යම් වැඩපිළිවෙළක් තිබෙනවා ද ?

වචන වලින් තිබෙනවා, නමුත් ක්‍රියාවෙන් නැහැ. පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ආරම්භ කළ ආදායම් ලබා ගැනීමේ ක්‍රම මේ ආණ්ඩුවත් ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යනවා. නමුත් මේ උපයා ගන්නේ දේශීය ආදායම්, රුපියල් වලින් තමයි මේ මුදල් ලැබෙන්නේ. නමුත් අපේ ණය ගෙවන්න තියෙන්නේ එක්සත් ජනපද ඩොලර්වලින්. ඒ අනුව දේශීය ආදායම පමණක් ප්‍රවර්ධනය කරගැනීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ, ඩොලර් උපයා ගත යුතුයි, විදේශ ආයෝජන ලබා ගත යුතුයි. ඒත් අවාසනාවට ඒ මාර්ග මේ අයවැය තුළ පෙන්නලා නැහැ. මම යළිත් මතක් කරනවා, අපිට ණය ගෙවන්න තියෙන්නේ රුපියල් වලින් නොවෙයි, ඩොලර් වලින්. නමුත් ඩොලර් උපයා ගන්න ප්‍රමාණවත් සැලසුම් මේ අයවැය තුළ නැහැ.
- ආණ්ඩුව කියනවා රුපියල් ට්‍රිලියනයක් ඔවුන් සතුව තිබෙනවා කියලා. මේක විශාල පිම්මක් නේද ?
ආණ්ඩුව කියන්නේ සල්ලි එකතු කරන බැංකුවක් නෙමෙයිනේ, ආණ්ඩු ඉන්නේ උපයා ගන්නා ආදායම් වියදම් කරමින් ආර්ථිකය සක්‍රීය තත්ත්වයේ පවත්වා ගෙන යන්න. මේ රුපියල් ට්‍රිලියනයට ඇති වටිනාකමක් නැහැ. මේකේ ආවස්ථික පිරිවැය / Opportunity Cost වැඩියි. මේ සල්ලි නිකං තියාගෙන ඉන්නේ ඇයි ?, ඇයි මේ රුපියල් ට්‍රිලියනය ජනතාව අතර, ආර්ථිකය තුළ බෙදා හැරීමට පියවර නොගන්නේ. මේ වන විට දැඩිව පීඩාවට පත්ව සිටින දේශීය අල ගොවියට, ලොකු ළුෑණු ගොවියට, වී ගොවියට, ධීවරයට සහන නොදෙන්නේ. ඔවුන්ට සහන නොදී මේ මුදල් එකතු කරන්නේ කවුරුන් වෙනුවෙන් ද ?. මුදල් වියදම් නොකරන ආණ්ඩුවකට රුපියල් ට්‍රිලියන දහයක් තිබුණත් ජනතාවට, ආර්ථිකයට ඇති සෙතක් නැහැ.
- විපක්ෂය පවා කියනවා මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී ගිහින්, ආණ්ඩුව පොහොසත් වෙලා කියලා. මේ කතාව පිළිගන්න පුළුවන් නේද ?
මෙවැනි කතා කියන අයට ඒක සාධාරණීකරණය කරන්න හේතු ඇති. නමුත් මම කියන්නේ මෙතරම් විශාල අතිරිත්තයක් තිබෙනවා නම් එක්කෝ දේශීය වශයෙන් තිබෙන රාජ්‍ය ණය ගෙවා දමන්න, නැතිනම් සංවර්ධන හෝ වෙනත් ඵලදායී ව්‍යාපෘති හරහා ඒක ආර්ථිකයට, ජනතාවට ගලා යාමට සලස්වන්න. මුදල්වල, රුපියල්වල වටිනාකම දවසින් දවස පිරිහෙනවා. නමුත් ඒක සංවර්ධනයට යොමු කළොත් ඒව හෙට ආදායමක් ලබා දෙනවා. රටවල් සංවර්ධනය වෙන්නේ එහෙමයි.
- නිෂ්පාදන ආර්ථිකයකටයි, අපනයන ආර්ථිකයකටයි එකට යන්න පුළුවන් ද ?
නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම දේවල් නිෂ්පාදනය කරලා දේශීය පාරිභෝජනයට ගෙන අතිරිත්තය අපනයනය කිරීමටයි. නිෂ්පාදනය කරනවා කියන්නේ යම් නිෂ්පාදනයකට මිල අගයක් එකතු කිරීමටයි. ඒ එකතු කිරීම තුළ තමයි ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ. ආනයනය කරලා වෙළඳාමක් කරනවාට වැඩිය නිෂ්පාදනය කරලා, ඒවා පාරිභෝජනය කරලා අතිරිත්තය අපනයනය කිරීම වැදගත්. නමුත් අවාසනාවට අපට තාම නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරන්න නොහැකි වෙලා තිබෙනවා. රටට අවශ්‍ය ආහාර පානවලින් වැඩි ප්‍රතිශතයක් අදත් ආනයනය කරනවා. රුපියල් ට්‍රිලියනයක පමණ ආහාර ආනයනය කරනවා. මේක අපි වගේ රටකට දරා ගන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි. රට වටේම මුහුද තියෙන රටක් ලුණු ආනයනය කරනවා කියන්නේ ඒ තරම් හොඳ තත්ත්වයක් නොවෙයි. අපි වචනවලට සීමා වෙලා, නමුත් ක්‍රියාවට යොමු වෙලා නැහැ.
රතඉර පුවත්පතේ 2025 නොවැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් වූ ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද














