
කඩුලු ත්‍රිත්වයක්ද සමගින් අසේනි තලගුණේ ලකුණු දහයක් ඇතුළත කඩුලු පහක් බිඳ දැමීමට සමත්වීම මුල් කර ගනිමින් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවෝ මලයාසියා ජාතික කණ්ඩායම තෙවැනි විස්සයි 20 තරගයෙන් ද ලකුණු 118 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අද (05 දා) අත්කර ගත්තේය.
මේ ජයග්‍රහණයත් සමග කණ්ඩායම් දෙක අතර තරග පහකින් යුත් තරගාවලියේ මෙතෙක් පැවැති තරග තුනම ජය ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවනට දැනටමත් තරග 3 -0කින් තරගාවලියේ ජය හිමි වී තිබේ. ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමේ නායිකාව මනුදි නානායක්කාර මේ තරගයේ කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7කට රැස් කළ ලකුණු 166ට පිළිතුරු ලෙස මලයාසියා ජාතික කණ්ඩායමේ පිතිකාරිණියන් පන්දුවාර 13.5ක දී සියල්ල දැවී රැස් කළේ ලකුණු 48කි. මේ තරගය පැවැතියේ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී ය.
ශ්‍රී ලංකා පිතිකාරිණියන් පන්දුවට පහර දෙද්දී නැවත වතාවක් ලකුණු අතරට පිවිසි ආරම්භක පිතිකාරිණිය විමෝක්ෂා බාලසූරිය වේගවත් පිතිහරඹයක නියැළෙමින් පන්දු 42ක දී හතරේ පහර දහයක් සමග ලකුණු 62ක් රැස් කළාය. මීට අමතරව කැපී පෙනුණු ශ්‍රී ලංකා යොවුන් පිතිකාරිණියන් වුයේ අංක හතර පිතිකාරිණිය රශ්මිකා සෙව්වන්දි ලකුණු 38ක් ද අංක පහ පිතිකාරිණිය ශෂිනි ගිම්හානි ලකුණු 20ක් ද රැස් කළහ.
ශ්‍රී ලංකා යොවුන් පිතිකාරිණියන්ට හොඳම සබඳතාව වුයේ ප්‍රථම කඩුල්ලට විමෝක්ෂා බාලසුරිය සහ සංජානා කවිඳි රැස් කළ ලකුණු 43ත් තෙවන කඩුල්ලට විමෝක්ෂා බාලසූරිය සහ රශ්මිකා සෙව්වන්දි රැස් කළ ලකුණු 36ත් සහ සිව් වන කඩුල්ලට රශ්මිකා සෙව්වන්දි සහ ශෂිනි ගිම්හානි රැස් කළ ලකුණු 35ත් ය. මලයාසියානු කණ්ඩායමේ නුර් ඩානියා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20කට කඩුලු තුනක් දවාලුවාය.
අසේනි තලගුණේ සිය දෙවන පන්දුවාරයේ පස් වන සහ හය වන පන්දුවලටත් තුන් වන පන්දුවාරයේ පළමු පන්දුවටත් කඩුලු දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවාය. අසේනිට අමතරව දක්ෂ පන්දු යැවීමක නිරත වු චමෝදි ප්‍රමෝෂා මුණසිංහ සිය පන්දුවාර හතරේ දී ලකුණු 9කට කඩුලු දෙකක් දවාලුවාය. අසේනි කඩුලු පහ දවාලුවේ පන්දු 17ක් ඇතුළදී ය.
ලකුණු විස්තරය
ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ට 166 – (විමෝක්ෂා බාලසූරිය 62, රශ්මිකා සෙව්වන්දි 38, ශෂිනි ගිම්හානි 20, සංජානා කවිඳි 13, නුර් ඩානියා 20/3, ඉර්ඩිනා බෙත් නබිල් 18/1)
මලයාසියා කාන්තා කණ්ඩායම පන්දුවාර 13.5දී සියල්ල දැවී 48යි – (අයිනා නජ්වා 13, අරියානි නටාස්‍යා 07, මහිරා ඉසා 07, නුර් ඩානියා 07, අසේනි තලගුණේ 10/5, චමෝදි ප්‍රමෝෂා 9/2)













