සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කාන්තාව භාවිතා කළේ ‘ඡන්ද මැෂිමක්’ ලෙස පමණයි. නමුත් ජාතික ජන බලවේගය ආණ්ඩුව තුළ කාන්තා මන්ත්‍රීවරියන්ට ගෞරවණීය පිළිගැනීමක් ලබා දී තිබෙනවා. ආණ්ඩුව තුළ තීන්දු – තීරණ ගන්නා ස්ථානවල කාන්තා නියෝජනයක් තිබෙනවා. මේ තත්ත්වය තුළ අපි ආණ්ඩුවක් ලෙස සහ පක්ෂයක් ලෙස ඉතාම හොඳ පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා. ඒ වගේම ඡන්ද මැෂිමක් කියන අදහසින් ඔබ්බට ගොස් තීන්දු – තීරණ ගන්න තැන් වලට කාන්තාවන්ට ද පැමිණීමට කිසිම බාධාවක් නැහැ කියන සංඥාව අපි ආණ්ඩුවක් ලෙස ලබා දී තිබෙනවා.
- නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ගෙවී ගිය කාලය ගැන ඔබට දැනෙන හැඟීම කුමක් ද ?
අපි ආණ්ඩුවක් ලෙස බලයට පත්ව දැන් වසරකට ආසන්න කාලයක් වෙනවා. ජනතාව අපට බලය ලබා දුන්නේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය මතයි. අපේ ඒකායන බලාපොරොත්තුව වුණේ මේ රටේ ජනතාව අපට ලබා දුන්න ඒ ඓතිහාසික ජන බලයට සාධාරණය ඉටු කිරීමයි. ජනතාව අපේක්ෂා කළ පරිදි බිඳ වැටී තිබුණ ආර්ථිකය ස්ථාවර කිරීම තමයි අපේ මුල්ම අපේක්ෂාව වුණේ, අපි මුහුණ දිය යුතු අභියෝගය වුණේ. ජනාධිපතිවරණ සහ මැතිවරණ ව්‍යාපාරය පුරාම විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම අපට පහර දුන්නේ අපි බලයට පත් වුණොත් රට නැවත ආර්ථික අර්බුදයකට යයි කියලයි. නමුත් අපි මේ වන විට ආර්ථිකය ස්ථාවර කළා පමණක් නොවෙයි එය ශක්තිමත් කරමින් විවිධාංගීකරණයට ද පියවර ගෙන තිබෙනවා. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය රැක දීලා තිබෙනවා. ඒ අනුව අපි හිතනවා අපේ ආණ්ඩුව ඒ අභියෝගය සාර්ථකව ජය ගත්තා කියලා. අපේ ඉදිරි සැලසුම වන්නේ මේ පීල්ල දිගේ ඉදිරි වසර හතරක කාලය තුළ ඉදිරියට ගමන් කරමින් ජනවරම ක්‍රියාත්මක කිරීමයි.
- ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් තිබෙන්නේ වර්තමාන පාර්ලිමේන්තුව තුළයි. මේ තත්ත්වය ඔබට දැනුණේ කොහොමද ?
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පිරිසක් තේරී පත් වූ පාර්ලිමේන්තුව ලෙස මේ පාර්ලිමේන්තුව ඉතිහාස ගත වෙනවා. ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් 22 දෙදෙනාගෙන් මන්ත්‍රීවරියන් 20 දෙනකුම අපේ පක්ෂය, ජාතික ජන බලවේගය නියෝජනය කිරීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමිය ඇතුළු ආණ්ඩුව තුළ සතුටුදායක කාන්තා බලයක් තිබෙනවා. ඔබට මතක ඇති පසුගිය මැතිවරණ ව්‍යාපාරය තුළ අපි කටයුතු කළේ ‘ගැහැනු අපි එක මිටට’කියන තේමා පාඨය තුළයි. ඒ හරහා සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවටම දේශපාලන විඥානය සහ සවිඥානිකත්වය ලබා දෙන, ඔවුන්ටත් දේශපාලනය සම්බන්ධව යම්කිසි පූර්වාදර්ශයක් සැපයිය හැකි වන ආකාරයට කාන්තා දේශපාලන නායකත්වය පාර්ලිමේන්තුව විදහා දැක්වීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ගෙවී ගිය කාලය තුළ ජාතික ජන බලවේගය ලෙස, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියන් ලෙස එකමුතුව, අප හමුවට එන සෑම අභියෝගයකටම එකාවන්ව මුහුණ දෙමින් අපි කටයුතු කරනවා. ඒ වගේම අපි වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ කාන්තාවන් වෙනුවෙන් අපට කළ හැකි සෑම දෙයක්ම කරන්න අපි පියවර ගන්නවා වගේම ඔවුන් අප කෙරේ තැබූ විශ්වාසය ආරක්ෂා කිරීමට ද කැප වෙනවා.
- සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කාන්තාවන්ට ලබා දුන් ස්ථානයට වඩා ජාතික ජන බලවේගය තුළ කාන්තාවන්ට විශේෂත්වයක් තිබෙනවා ද ?
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කාන්තාව භාවිතා කළේ ‘ඡන්ද මැෂිමක්’ ලෙස පමණයි. නමුත් ජාතික ජන බලවේගය ආණ්ඩුව තුළ කාන්තා මන්ත්‍රීවරියන්ට ගෞරවණීය පිළිගැනීමක් ලබා දී තිබෙනවා. ආණ්ඩුව තුළ තීන්දු – තීරණ ගන්නා ස්ථානවල කාන්තා නියෝජනයක් තිබෙනවා. මේ තත්ත්වය තුළ අපි ආණ්ඩුවක් ලෙස සහ පක්ෂයක් ලෙස ඉතාම හොඳ පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා. ඒ වගේම ඡන්ද මැෂිමක් කියන අදහසින් ඔබ්බට ගොස් තීන්දු – තීරණ ගන්න තැන් වලට කාන්තාවන්ට ද පැමිණීමට කිසිම බාධාවක් නැහැ කියන සංඥාව අපි ආණ්ඩුවක් ලෙස ලබා දී තිබෙනවා.
හිංසනය කියන එක කාන්තාවන්ට පමණක් නොවෙයි දරුවන් සම්බන්ධයෙන් පවා දිගින් දිගටම සිදුවෙනවා. කාන්තාවන් ලෙස අපි මේ තත්ත්වයට මුහුණ දිය යුතුයි. විශේෂයෙන් දේශපාලනයට එන කාන්තාවන් මේ තත්ත්වයට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුයි. නමුත් මේ තත්ත්වය පිටුදැකිය යුතුයි. දේශපාලනයට පිවිසෙන කාන්තාවකට පමණක් නොවෙයි පිරිමියෙකුට පවා තමන්ගේ අත්ම ගරුත්වය සහ අභිමානය රැක ගෙන, බයක් – සැකක් නැතිව කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කළ යුතුයි.
- කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වර්තමාන කටයුතු සිදුවෙන්නේ කොහොම ද ?
විශේෂයෙන් සඳහන් කළ යුතුයි පෙර පාර්ලිමේන්තු වල දී කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉතාම සක්‍රීය ලෙස කටයුතු කර තිබෙනවා. වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස සරෝජා පෝල්රාජ් ඇමැතිතුමිය කටයුතු කරනවා. එතුමියගේ නායකත්වය යටතේ කාන්තාවගේ දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් අපි අලුත් වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. ඒ අතර කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම, ගෘහස්ත හිංසනයෙන් කාන්තාවන් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගැනිම, කාන්තාවන්ගේ සෞඛ්‍ය හා අයිතිවාසිකම් තහවුරු කිරීමට අදාළ පියවර ගැනීම ආදි විශේෂ වැඩසටහන් රැසක් අපි ආරම්භ කර තිබෙනවා. මා ඔබ සමඟ සාකච්ඡා කරන අද දිනයේ දීත් අපි පියවුරු පිළිකා වළක්වා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට පියවර ගත්තා. ඔක්තෝබර් මාසය කියන්නේ පියවුරු පිළිකා වළක්වා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීමේ මාසයයි. පියවුරු පිළිකා කියන්නේ මූලික අවස්ථාවේ දීම හඳුනා ගැනීම තුළින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයක්. ඒ නිසා ‘පිළිකාව’ කියන වචනයට බය වෙලා පූර්ව රෝග පරීක්ෂාවකට නො ගොස් ඉන්න එපා. රජයේ සායන මගින් ඔබට නොමිලේ මේ සේවය ලබා ගන්න පුළුවන්. එසේම ස්වයං පරීක්ෂාව තුළින් පවා කාන්තාවන්ට පියවුරු පිළිකාව හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා කාන්තා ඔබ මේ සම්බන්ධයෙන් නිරන්තර අවධියෙන් සිටින ලෙස මම මෙම ලිපිය කියවන කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.
- දේශපාලනයේ දී කාන්තාවන් විවිධාකාරයේ හිංසනයන්ට ලක් වෙනවා. මේ ගැන ඔබට යම් අදහසක් තිබෙනවා ද ?
හිංසනය කියන එක කාන්තාවන්ට පමණක් නොවෙයි දරුවන් සම්බන්ධයෙන් පවා දිගින් දිගටම සිදුවෙනවා. කාන්තාවන් ලෙස අපි මේ තත්ත්වයට මුහුණ දිය යුතුයි. විශේෂයෙන් දේශපාලනයට එන කාන්තාවන් මේ තත්ත්වයට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුයි. නමුත් මේ තත්ත්වය පිටුදැකිය යුතුයි. දේශපාලනයට පිවිසෙන කාන්තාවකට පමණක් නොවෙයි පිරිමියෙකුට පවා තමන්ගේ අත්ම ගරුත්වය සහ අභිමානය රැක ගෙන, බයක් – සැකක් නැතිව කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කළ යුතුයි.
- මේ සම්බන්ධ ඔබට අත්දැකීම් තිබෙනවා ද ?
මම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ලාබාලම මන්ත්‍රීවරියන් දෙදෙනාගෙන් එක්කෙනෙක්. ඒ නිසාම අපි ඉලක්ක බවට පත්වෙනවා වැඩියි. නමුත් අපි දැනගත යුතුයි, අපි දේශපාලනයට පැමිණ තිබෙන්නේ පොදු අරමුණක්, පොදු ඉලක්කයක් වෙනුවෙන්. ඒ නිසා අපට එල්ල කරන අවලාද, අපවාද පවා අපි ගන්නේ පුද්ගලික කාරණා ලෙස නෙවෙයි. අපි පිටුපස විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් අපට ශක්තියක් ලබා දෙනවා. මම මුලින් සඳහන් කළ ආකාරයට කාන්තාවන්ට පූර්වාදර්ශයක් ලබා දෙන්න නම් දේශපාලනඥයින් ලෙස අපි ශක්තිමත්ව සිටිය යුතුයි. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස අපි උත්සාහා කරන්නේ කාන්තා හා ළමා හිංසනය පිටුදකින අණපනත් සම්මත කර ගනිමින්, ඒ සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවතක් නිර්මාණය කිරීමටයි.
- ලංකාවේ දරිද්‍රතාවය වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. මෙහි ඍජු බලපෑම එල්ල වන්නේ කාන්තාවන් සහ ළමුන්ටයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව යම්කිසි වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා ද ?
ඔව්, අපි මේ සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ආරම්භ කර තිබෙන අතර ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෑම ගමකම ප්‍රජා ශක්ති කමිටුවක් ස්ථාපිත කරනවා. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කර ගන්නවා. ගමේ සංවර්ධනයට, දියුණුවට අදාළ සැලසුම් මේ ප්‍රජා ශක්ති කමිටුව විසින් නිර්මාණය කරනවා. මේ හරහා ග්‍රාමීය ආර්ථික දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට අනුබද්ධව කාන්තා හා ළමා කටයුතු අනු කමිටුවක් පිහිටුවීම සිදුවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙම අනු කමිටුවල සභාපතිවරියන් ලෙස කටයුතු කරනවා. ඒ හරහා සෑම දිස්ත්‍රික්කයකම කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන්, ව්‍යවසායකත්ව වැඩසටහන් සංවර්ධනය සඳහා මේ වන විටත් කටයුතු කරමින් තිබෙනවා. ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම වැඩසටහන් හරහා ග්‍රාමීය සංවර්ධනය තුළින් දරිද්‍රතාව පිටුදැකීමට අපි පියවර ගන්නවා. විශේෂයෙන් 2026 අයවැයෙන් පසු මේ කටයුතු බිම් මට්ටම දක්වා ගෙන යාමට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
- කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ගැන ඔබ සඳහන් කළා. රජය මේ සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවාද ?
කාන්තා ව්‍යවසායකත්වය ගැන කතා කරන විට පවතින ප්‍රධාන ගැටලුවක් තමයි වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීම, වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම. ඒ අනුව සංචාරක ව්‍යාපාරයට අනුබද්ධව, සංචාරක ව්‍යාපාරය දියුණු කරන අතරතුර කාන්තා ව්‍යවසායකත්වය දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන සංචාරක කර්මාන්තය තුළ ප්‍රවර්ධනය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය සහ කාන්තා ව්‍යවසායකත්වය සම්බන්ධ කිරීම තුළින් අපේ ව්‍යවසායිකාවන්ට විශාල වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා. දිස්ත්‍රික් අනු කමිටු හරහා මේ වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ගෝලීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදන කටයුතු කිරීමට සහ ඒවා ප්‍රවර්ධනය කිරීමට අපි පියවර ගන්නවා. ඒ වගේම කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන සමාජ මාධ්‍ය හරහා අලෙවි කිරීමට ද අපි සහාය ලබා දෙනවා, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන තාක්ෂණික දැනුම සහ පුහුණුව ලබා දීමට පියවර ගන්නවා.
මත් ද්‍රව්‍ය වලින් ඔබේ සැමියා, දරුවා, සහෝදරයා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි මත්ද්‍රව්‍ය පිටු දකින, මුලිනුපුටා දමන ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය සමාජයෙන් ඉවත් කරන්න අපි සම්පූර්ණයෙන්ම කැප වෙනවා. කාන්තා ඔබ වෙනුවෙන් සුරක්ෂිත සහ විශ්වාසවන්ත රටක් අපි බිහි කරනවා. මත්ද්‍රව්‍ය හා පාතලය සම්බන්ධයෙන් පවතින භීතිකාව අපි සම්පූර්ණයෙන්ම තුරන් කරමින් ඔබ වෙනුවෙන් සුරක්ෂිත අනාගතයක් අපි නිර්මාණය කරනවා. ඒ ගැන අපි සහතික වෙනවා.
- කාන්තාවන් වෙනුවෙන් ඔබට යම්කිසි විශේෂ පණිවුඩයක් දීමට තිබෙනවා ද ?
පසුගිය කාලය පුරාම කාන්තාවෝ නිමක් නැති පීඩනයකට පත්ව සිටියා. මත්ද්‍රව්‍ය වලින් සහ පාතලයෙන් තම පවුල ආරක්ෂා කර ගැනීමට ඔවුන් දැඩි වෙහෙසක් ගත්තා. ඔබ අපිව මෙතැනට පත්කර එව්වේ අපි ගැන යම් විශ්වාසයකින්. ඔබ අප ගැන තැබූ ඒ විශ්වාසය අපි ආරක්ෂා කරනවා. ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් පොහොසත් රටක් සහ ඔබට ලස්සන ජීවිතයක් ලබා දීමට අපි ආණ්ඩුවක් ලෙස ඇප කැප වෙනවා. මත් ද්‍රව්‍ය වලින් ඔබේ සැමියා, දරුවා, සහෝදරයා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි මත්ද්‍රව්‍ය පිටු දකින, මුලිනුපුටා දමන ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය සමාජයෙන් ඉවත් කරන්න අපි සම්පූර්ණයෙන්ම කැප වෙනවා. කාන්තා ඔබ වෙනුවෙන් සුරක්ෂිත සහ විශ්වාසවන්ත රටක් අපි බිහි කරනවා. මත්ද්‍රව්‍ය හා පාතලය සම්බන්ධයෙන් පවතින භීතිකාව අපි සම්පූර්ණයෙන්ම තුරන් කරමින් ඔබ වෙනුවෙන් සුරක්ෂිත අනාගතයක් අපි නිර්මාණය කරනවා. ඒ ගැන අපි සහතික වෙනවා.
උපුටා ගැනීම – රතුඉර පුවත්පත, 2025 ඔක්තෝබර් 26 කලාපයෙනි.
සටහන – භාතිය බරුකන්ද














